පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එම දැරිය 2020 ඔක්තෝම්බර් මාසයේ දී බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි බදියුදීන් මහතාගේ නිවසට රැගෙන එන විට ඇයට වයස අවුරුදු 15යි මාස 11ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි. ඇය ඩයගම පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැත්තියක් වන අතර ඇය මිය යන විට වයස අවුරුදු 16කුත් මාස 8ක් විය.
මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිව ඇත. අදාළ දැරිය පසුගිය ජුලි 03 වන දින පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ජුලි 15 වන දින මිය ගොස් ඇත.

