අපරාධ වාර්තා

ඝාතන 6කට සම්බන්ධ අයෙක් STF වෙඩි පහරින් මරුට

සීදූව, බේස්ලයින් පාරේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් මිනී මැරුම් හා අපරාධ රැසකට සම්බන්ධ බව කියන ලලිත් වසන්ත පින්තු නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත ජුලි 17 වන දින රාත්‍රියේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මියගිය පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගමන් ගත් මෝටර් රථය හඹාගෙන ගොස් නැවැත්වීමට නියෝග කළ ද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගිනි අවි භාවිතයෙන් බලය පාවිච්චි කිරීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශක කරයි.

එම අවස්ථාවේ දී තුවාල ලැබූ සැකකාර ලලිත් වසන්ත පින්තු නමැති පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද හමු වී තිබෙනවා.

මියගිය පුද්ගලයා සීදූව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු 1991 සිට සීදුව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදි පොලිස් වසම්වල සිදුවු අපරාධ රැසකට හා මනුෂ්‍ය ඝාතන 6කට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Rivira FB Group Rivira Youtube
To Top