අධ්‍යාපනය

කොතලාවල පනතට එල්ලවන සියලු චෝදනා පදනම් විරහිත හා අසත්‍ය චෝදනා – KDU නීති සංගමයෙන් විශේෂ නිවේදනයක්

යෝජිත “ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත” සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ වූ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති සංගමය කටයුතු කර තිබෙනවා.

ජූලි 25 දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ එලෙස එල්ලවන චෝදනා, කරුණු වරදවා වටහා ගැනීමෙන් හෝ සිතාමතා ම, ද්වේශ සහගත අරමුණින් යුක්තව එල්ල කරන්නා වූ, පදනම් විරහිත හා අසත්‍ය චෝදනා බවයි. කෙසේ වෙතත්, යෝජිත පනත් කෙටුම්පත වෙත ප‍්‍රගතිශීලී සංශෝධනයන් සිදු කිරීම මගින් විශ්වවිද්‍යාලයේ ව්‍යුහය හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් විධිමත් කිරීම උදෙසා එම සංගමය විසින් ප‍්‍රධාන වශයෙන් හඳුනාගත් නිර්දේශයන් 5ක් ද එම වාර්තාව සමග ඉදිරිපත් කර තිබෙනවා.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය හා වාර්තාව පහතින්.

2018 අප්‍රේල් 11 දිනැති ගැසට් පත‍්‍රයෙහි පළ කරනු ලදුව, 2021 මාර්තු 06 වන දින ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ “ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත”, මේ වනවිට අදාළ නීති සම්පාදන ක‍්‍රියාවලිය අනුගමනය කරමින් “දෙවන වර කියවීමේ” අදියරෙහි පසු වේ. ඊට සමගාමීව උක්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් විවිධ ආකාරයේ විවේචන ඉදිරිපත් කිරීමක් නිරීක්ෂණය විය. ඒ අනුව, එකී සියලූ පාර්ශ්වයන්ට ඇති අදහස් දැක්වීමේ අයිතිය පිළිගනිමින් හා එම අයිතියට ගරු කරමින් ”යෝජිත පනත් කෙටුම්පත” හා ”ශ‍්‍රී ලාංකීය ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන අයිතිය” සම්බන්ධව අප සංගමයේ ස්ථාවරය පහත පරිදි ඉදිරිපත් කරන්නෙමු.

යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ මතවාදයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ දී

  • “අධ්‍යාපනය මිලිටරීකරණය කිරීම”,
  • යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ අදාළත්වයෙන් බැහැර වීම,
  • දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන සමග අනුබද්ධව කටයුතු කිරීමට හැකියාව තිබීම හා විශ්වවිද්‍යාලය යටතේ වෙනත් ශාස්ත‍්‍රීය ආයතන ආරම්භ කිරීමට බලය තිබීම,
  • යෝජිත පනතේ පාලක මණ්ඩලයේ ව්‍යුහය තුළ බහුතරය හමුදා නිලධාරීන් නියෝජනය වීම,
  • “වෙනත් තැනැත්තන්”ට උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව සැළසීම,
  • “අධ්‍යාපනය විකිණීම” හා මුදල් අය කිරීම,
  • යෝජිත පනත් කෙටුම්පතේ අමාත්‍යවරයාගේ බලතල තුළින් දේශපාලන මැදිහත්වීම් සිදුවීම,
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිදහස සීමා කිරීම,
  • කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය “පෞද්ගලික විශ්වවිද්‍යාලයක්” ලෙස හුවා දැක්වීම,

වැනි චෝදනා ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි විය.

ඒ අනුව, අප සංගමයේ විධායක සභාව විසින් යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධව අධ්‍යයනය කිරීම සඳහා නීතිවේදීන් හා වෘත්තීමය නීතිඥවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත අනුකමිටුවක් පත් කරන ලදී. එම අනුකමිටුව විසින් ඒ සම්බන්ධව අධ්‍යයනය කිරීමේ දී, යෝජිත පනත් කෙටුම්පත හා විශ්වවිද්‍යාල පනතට පරිබාහිරව “වෙනත් පාර්ලිමේන්තු පනත්” යටතේ ස්ථාපිත කර ඇති විශ්වවිද්‍යාල හා ඊට සම්බන්ධ නීතිමය තත්වය “ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය (1981 අංක 74 දරන පනත),  ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (2014 අංක 31 දරන පනත), ශ‍්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (2008 අංක 31 දරන පනත) හා “ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය (1996 අංක 26 දරන පනත)”  කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

ඒ අනුව, විවාදයට ලක් වූ වගන්ති හා බලතල, උක්ත “වෙනත් පාර්ලිමේන්තු පනත්” වල ද ඒ ආකාරයෙන් ම අන්තර්ගත බව ද, එහෙත්, එකී විශ්වවිද්‍යාලයන් තුළ එවැනි කිසිඳු ගැටළුවක් පැන නැගී නොමැති බව ද, එම අධ්‍යයනයේ ප‍්‍රධානතම නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, එල්ලවන චෝදනා, කරුණු වරදවා වටහා ගැනීමෙන් හෝ සිතාමතා ම, ද්වේශ සහගත අරමුණින් යුක්තව එල්ල කරන්නා වූ, පදනම් විරහිත හා අසත්‍ය චෝදනා බව එම අධ්‍යයනයේ දී මූලික වශයෙන් හඳුනා ගෙන ඇත.

(මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට පත් කළ අනුකමිටුවේ අවසන් වාර්තාව මේ සමග අමුණා ඇති අතර එමගින් ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබේ.)

තවද, එල්ලවන පදනම් විරහිත චෝදනා හමුවේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සැබෑ තත්වය, විශ්වවිද්‍යාලය විසින් ශ‍්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ලබා දී ඇති දායකත්වය, විශ්වවිද්‍යාලය ලබා ඇති ජයග‍්‍රහණ හා මෙම විශ්වවිද්‍යාලයේ කාලීන අවශ්‍යතාවය යන කරුණු පිළිබඳව ද පැහැදිලි කිරීම අප සංගමයේ ප‍්‍රධාන වගකීමක් ලෙස සළකන බැවින් ඒ පිළිබඳව පහත පරිදි අවධාරණය කර සිටිමු.

ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, 1981 අංක 68 දරන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතන පනත මගින් ස්ථාපිත කරන ලදුව දශක 4කට අධික, දීර්ඝ හා කීර්තිමත් ඉතිහාසයක් ඇති විශ්වවිද්‍යාලයකි. ඒ අනුව, මේ වන විට වේරහැර පිහිටි විශ්වවිද්‍යාල රෝහල් සංකීර්ණය දක්වාත්, සූරියවැව පිහිටි දක්ෂිණ මණ්ඩපය දක්වාත් පුළුල් වෙමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ධනාත්මක සහ පරිවර්තනීය වෙනසක් සහිත නවමු අත්දැකීමක් දායාද කොට ඇත. 1981 අංක 68 දරන පනතින් පිහිට වූ ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතනයට, 1988 අංක 27 දරන සංශෝධන පනතින් “විශ්වවිද්‍යාල තත්වය” ලබා දී ඇති අතර, 1990 අංක 30 දරන සංශෝධන පනතින් කුලපතිධූරය හඳුන්වා දීම ඇතුළු සංශෝධන කිහිපයක් සහිතව හා 2007 අංක 50 දරන සංශෝධන පනත මගින් “ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය” ලෙස නම් කරන ලදී. ඒ අනුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙත මේ අවස්ථාව වනවිටත් සක‍්‍රීය දායකත්වයක් ලබා දෙනු ලබන රාජ්‍ය විශ්වවිද්‍යාලයකි.

තවද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ නීතිමය තත්වය යාවත්කාලීන හා ව්‍යුහගත කිරීම පිණිස 2018 වර්ෂයේ දී පනත් කෙටුම්පතක් යෝජනා වූවත්, එකී පනත් කෙටුම්පත, අදාළ නීතිමය ක‍්‍රියාවලිය සම්පුර්ණ නොවීම හේතුවෙන් ඉහත කී සංශෝධන පනත් මගින් සංශෝධිත 1981 අංක 68 දරන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතන පනත මගින් මේ දක්වා පාලනය වූ අතර මේ වනවිට වෛද්‍ය, ඉංජිනේරු, නීති, සම සෞඛ්‍ය හා තොරතුරු තාක්ෂණය ඇතුළු පීඨ 9 ක් තුළ උපාධි අපේක්ෂකයින් 3000 ක් පමණ සිය අධ්‍යයන කටයුතු වල නිරත වේ. එසේ හෙයින්, යෝජිත පනත් කෙටුම්පත තුළින් පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ව්‍යුහගත කිරීමක් හා ඊට සම්බන්ධ පනත යාවත්කාලින කිරීම උදෙසා පමණක් අරමුණු කොට ගත් පනත් කෙටුම්පතක් බවත්, කිසිඳු ආකාරයකින් නව විශ්වවිද්‍යාලයක් හෝ පාලන අධිකාරියක් ස්ථාපිත වීමක් සිදු නොවන බව අවධාරණය කර සිටිමු.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත කර ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය හා නියාමනය සිදු වන අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය හා නියාමනය සිදු කරනු ලබයි. ඊට හේතුව නම්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මුලික අරමුණ වනුයේ යුද, නාවික හා ගුවන් යන ත‍්‍රිවිධ හමුදා සඳහා බඳවා ගනු ලබන නිලධරයන් ශාස්ත‍්‍රීය දැනුමින් සන්නද්ධ වෘත්තිකයන් (වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවරුන් වැනි) ලෙස පුහුණු කිරීම යි. එහි දී, ත‍්‍රිවිධ හමුදා නිලධාරින් සම්බන්ධ පාලනය හා නියාමනය, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදු කිරීම අත්‍යවශ්‍ය බැවින්, විශ්වවිද්‍යාල පනත යටතේ වන විශ්වවිද්‍යාල මෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය හා නියාමනය සිදු කිරීමේ හැකියාවක් නොමැත. එසේ හෙයින්, එකී “නිශ්චිත අරමුණක්” උදෙසා විශ්වවිද්‍යාලයක් බිහි කිරීමේ දී එහි අනන්‍යතාවය රැකෙන ආකාරයෙන් හා අදාළ විශ්වවිද්‍යාලයේ පාලනය හා නියාමනය පවත්වාගෙන යාම උදෙසා, ප‍්‍රමාණවත් බලතල සහිත “වෙනම පාර්ලිමේන්තු පනතක්” මගින් ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද එලෙස “වෙනත් පාර්ලිමේන්තු පනතක්” යටතේ ස්ථාපිත කිරීම තුළින් ඉහත කී නිශ්චිත අරමුණ සපුරා ගැනීමට හැකියාව ලැබී තිබේ.

එහෙත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම උපාධි පාඨමාලාවන්හි තත්ත්ව ගුණත්වය නියාමනය කිරීම (Quality Assurance) හා ශිෂ්‍යයින් බදවා ගැනීම් වැනි සුවිශේෂී හා අධ්‍යයන කාරණා සම්බන්ධයෙන් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම, විශ්වවිද්‍යාල  ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සෘජු අධීක්ෂණය හා නියාමනය යටතේ ක‍්‍රියාත්මක කිරීම සිදු වේ. තවද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය තුළ නිල වශයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජනයක් පැවතීම හරහා ඉහත කී උසස් අධ්‍යාපනය හා සම්බන්ධ කටයුතු වලදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සෘජු අධීක්ෂණයට හා නියාමනයට ලක්වේ. එය මෙම විශ්වවිද්‍යාලය බිහි කිරීමේ දී උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම උදෙසා ගෙන ඇති සුවිශේෂී පියවරක් ලෙස හඳුනා ගත හැක. තවද, එලෙස විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත නොකළ හා සුවිශේෂී අරමුණක් උදෙසා වෙනම පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ එකම විශ්වවිද්‍යාලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නොවන අතර, පෙර කී පනත් මගින් පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හඳුනා ගත හැක.

එසේම, අධ්‍යාපනය ලබා ගැනීමේ එකම ක‍්‍රමවේදය ”නිදහස් අධ්‍යාපනය” පමණක් වන්නේ නම්, උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ සියලූම ශිෂ්‍යයින් හට රජය විසින් ඒ යටතේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබා දිය යුතු ය. එහෙත් ප‍්‍රායෝගිකව රජයක් විසින් එහි සියලූ ශිෂ්‍යයින්ට ”නොමිල උසස් අධ්‍යාපනයක්” ලබා දීමට තරම් ආර්ථීක ශක්තියක් නොමැත්තේ නම්, අධ්‍යාපනයට ඇති සම අවස්ථා සහතික කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පැන නගී. මෙහි දී, මීට විසඳුමක් වශයෙන් සිය අධ්‍යාපනයේ පිරිවැය වෙනුවෙන් ගෙවීමක් කර අධ්‍යාපනය ලබාගත හැකි ශිෂ්‍යයින් සඳහා සාධාරණ ප‍්‍රවේශයක් යටතේ ඊට අවස්ථාව ලබා දීම තුළින්, නිදහස් අධ්‍යාපනයේ සැබෑ අවශ්‍යතාවය ඇති ශිෂ්‍යයින් හට ද ඒ සඳහා වැඩි අවස්ථාවක් ලැබීම තවදුරටත් තහවුරු වේ. ඒ තුළින් ”නිදහස් අධ්‍යාපනය” හා ”අධ්‍යාපනයේ සම අවස්ථා” යන සංකල්පයන් ද්විත්වයම සත්‍ය ලෙසම යථාර්තයක් බවට පත් වන බව අප සංගමයේ විශ්වාසය යි. තවද, ”අධ්‍යාපනයට ඇති නිදහස හා අයිතිය” තහවුරු කිරීමේ එක් පියවරක් ලෙස ”මුදල් නොමැතිකම” අධ්‍යාපනය ලැබීමට බාධාවක් නොවීම සඳහා සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමාගේ අග‍්‍රගණ්‍ය සංකල්පයක් වූ ”නිදහස් අධ්‍යාපනය” යන්න තව තවත් පුළුල් කරමින් රට තුළ අධ්‍යාපනයට ඇති අනෙකුත් අවස්ථා ද තවදුරටත් පුළුල් කළ යුතු බව අප සංගමයේ මතය යි. එලෙස අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීමේ දී ප‍්‍රධාන සාධකය විය යුත්තේ ”අධ්‍යාපනයේ ගුණාත්මකභාවය” මිස එය ”නොමිල අධ්‍යාපනයක්” ද යන්න නොවන බව අවධාරණය කළ යුතු ය. 

වරෙක අධ්‍යාපනය, වරප‍්‍රසාද ලත්, බලවත් හා ධනවත් පුද්ගලයින්ගේ ග‍්‍රහණයට නතු වී තිබූ අතර, වර්තමානයේ දී එම අධ්‍යාපනය, ”නිදහස් අධ්‍යාපනයේ” ආරක්ෂකයින් ලෙස මවාපාමින් හා ඒ හරහා අධ්‍යාපනය ලබන සුළුතරයකගේ ඒකාධිකාරී ග‍්‍රහණයට නතු වීමක් සිදු වෙමින් පවතී. රටක් දියුණු වීමේ දී අධ්‍යාපනයට ඇති අවස්ථා සීමා කිරීම හෝ කිසියම් කණ්ඩායමකගේ පටු අවශ්‍යතා මත අධ්‍යාපනය හැසිරවීමට අවස්ථාව ලබා දීම හෝ කිසිසේත් සිදු නොවිය යුත්තක් වන අතර අධ්‍යාපනය හුදු වෙළෙඳ භාණ්ඩයක් වීම ද කිසිසේත් සිදු නොවිය යුත්තක් බව අප සංගමයේ හැඟීමයි. ඒ සඳහා එකම විකල්පය වන්නේ රජය විසින් ඉහත සඳහන් කළ ප‍්‍රතිපත්ති ද්විත්වයම ආරක්ෂා වන ආකාරයේ මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක සිට උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයින් හට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති අවස්ථා වැඩි දියුණු කිරීම යි. එබැවින්, ඒ සඳහා විසඳුමක් වශයෙන් පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි ලාභ අරමුණු කර නොගත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන විශ්වවිද්‍යාල බිහිවිය යුතු බවද අප සංගමයේ ස්ථාවරය යි.

තවද, නීති සම්පාදන ක‍්‍රියාවලියේ දී, සියලූ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් අර්ථාන්විත නීතියක් සම්පාදනය සඳහා කාරක සභා අවස්ථාව (Committee Stage) තුළ දී අත්‍යවශ්‍ය සංශෝධන සිදු කිරීම නීති සම්පාදන ක‍්‍රියාවලියේ අනන්‍ය ලක්ෂණයක් වන අතර, උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ඒ සඳහා මැදිහත්වීම් කළ යුතු බව අප සංගමයේ ද මතය යි. එහෙත්, අදාළ ක‍්‍රියාවලියට සිය දායකත්වය ලබා දීම පසෙක තබා, උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා නිදහස් අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාල වරම් නොලැබූ බහුතර ශිෂ්‍ය ප‍්‍රජාවකගේ අධ්‍යාපන අයිතීන් අහෝසි වන ආකාරයේ ද්වේශ සහගත හා පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් සිය පටු දේශපාලනික වුවමනාවන් සපුරා ගැනීමට තැත් කිරීම වෙනුවට, සාධාරණ හා පදනම් සහගත විවේචන තුළින් “නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීමට” හා ”සැමට අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබා දීම” උදෙසා සියලූ පාර්ශ්වයන් විසින් වගකීමෙන් හා කැපවීමෙන් යුතුව ක‍්‍රියා කළ යුතු බව අප සංගමයේ ඒකමතික ස්ථාවරය යි.

එසේම, දිවයිනේ සියලූම විශ්වවිද්‍යාලවල, තත්ත්ව ගුණත්වය නියාමනය කිරීම සම්බන්ධයෙන් අවම ප‍්‍රමිති සකස් කිරීම හා ඒවා ක‍්‍රියාවට නැංවීම තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය බලතල විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත හිමිවිය යුතු බවත්, ඒ සඳහා විශ්වවිද්‍යාල පනතේ පවතින බාධක ඉවත් කරමින්, වෙනත් පාර්ලිමේන්තු පනත් යටතේ පිහිට වූ රාජ්‍ය විශ්වවිද්‍යාල ද, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ තත්ත්ව ගුණත්වය නියාමනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අප සංගමයේ ස්ථාවරය යි.

තවද, යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතින් ද අනුගමනය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත කළ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්ණායක වන අතර එම නිර්ණායකවලට වඩා ඉහළ තත්ත්වයක් යටතේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යා යුතු බව යෝජිත පනතේ දක්වා ඇත.  උදාහරණයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන “නීතිවේදී උපාධිය” යටතේ වෙනත් කිසිදු ශ‍්‍රී ලාංකික විශ්වවිද්‍යාලයක නීතිවේදී විෂය නිර්දේශයක් මගින් ආවරණය නොවන කාර්ය පටිපාටික නීති, මුල්‍ය නීතිය, ඉදිකිරීම් නීතිය, සාගර නීතිය, අභ්‍යවකාශ නීතිය, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය, අධිකරණ වෛද්‍ය විද්‍යාව, යුධ හමුදා නීතිය, නාවික හමුදා නීතිය, ගුවන් හමුදා නීතිය, අන්තර්ජාතික සබදතා, දෙවන භාෂා කුසලතාවය (සිංහල හෝ දෙමළ), සන්නිවේදන කුසලතා ඇතුළු විෂයන් සහ නායකත්ව පුහුණුව හා මාස 6 කින් සමන්විත විෂයානුබද්ධ ප‍්‍රයෝගික පුහුණු කාල සිමාවක් ද ඇතුළුව, වසර 4ක පුර්ණ අධ්‍යයන කාල සීමාවකින් සමන්විත, විෂයන් 60 කට අධික ශ‍්‍රී ලාංකීය විෂය නිර්දේශයක් යටතේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පමණක් අධ්‍යයන කටයුතු පවත්වාගෙන යනු ලබයි.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ තත්ත්ව ගුණත්වය නියාමනය කිරීමේ කමිටුව විසින්  “අතිවිශිෂ්ඨ” සාමාර්ථයක් ලබා දී ඇති අතර එම උපාධි පාඨමාලාවේ ගුණාත්මකභාවය අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල (කොළඹ, පේරාදෙණිය, යාපනය හා විවෘත විශ්ව විද්‍යාලය) මගින් පිරිනමනු ලබන නීතිවේදී උපාධිය හා සමාන බවට නිර්දේශ කිරීමක් ද සිදු කොට ඇත.

මෙලෙස, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ තත්ත්ව ගුණත්ව වාර්තා මගින් හා ශ‍්‍රී ලාංකීය වෘත්තීමය සුදුසුකම් පිරිනමනු ලබන ආයතන, විදේශීය උසස් අධ්‍යාපනික ආයතන හා විදේශීය වෘත්තීමය සුදුසුකම් පිරිනමන ආයතන මගින් මේ වනවිටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා නිසි පිළිගැනිම ලබා දී ඇත. එසේම, මෙම විශ්වවිද්‍යාලය විසින් බිහි කරන ලද උපාධිධාරීන් රැුසක් මේ වනවිටත් රටේ ප‍්‍රධාන තනතුරු හා වගකීම් දරමින්, රටට ඉමහත් සේවයක් සිදු කරමින් විශ්වවිද්‍යාලය මගින් ලබා දුන් අධ්‍යාපනය ප‍්‍රයෝගිකව යථාර්තයක් බවට පත් කොට ඇත්තේ “විනයගත හා ගුණාත්මක අධ්‍යාපනය” විශ්වවිද්‍යාලයේ මුලික අරමුණ වන නිසා බව මනාව පැහැදිලි වේ. එබැවින් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, සුවහසක් ශ‍්‍රී ලාංකීය ශිෂ්‍ය ප‍්‍රජාවගේ අනාගතය උදෙසා හෙට දිනයේ දී ”ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” ලෙස ව්‍යුහගත කිරීම සඳහා සහයෝගය ලබා දීම ජාතික අවශ්‍යතාවයක් හා වගකිව යුතු සියලූ දෙනාගේ වගකීමක් බව අප සංගමය විසින් අවධාරණය කර සිටිමු.

තවද, යෝජිත පනත් කෙටුම්පත වෙත ප‍්‍රගතිශීලී සංශෝධනයන් සිදු කිරීම මගින් විශ්වවිද්‍යාලයේ ව්‍යුහය හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් විධිමත් කිරීම උදෙසා අප සංගමය විසින් ප‍්‍රධාන වශයෙන් හඳුනාගත් පහත නිර්දේශයන් ඉදිරිපත් කර සිටිමු.

ඒ අනුව,

  1. ”වෙනත් පාර්ලිමේන්තු පනත්” යටතේ ස්ථාපිත කර ඇති විශ්වවිද්‍යාලයන්හි, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ නියාමනය කිරීම උදෙසා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ ඇති බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම.
  2. විශ්වවිද්‍යාලයේ ව්‍යුහය හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් විධිමත් කිරීම උදෙසා, යෝජිත පනත් කෙටුම්පත වෙත පහත සඳහන් ප‍්‍රගතිශීලී සංශෝධනයන් සිදු කිරීම.
    1. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් තහවුරු කිරීම උදෙසා, යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතේ ”පාලක මණ්ඩලයේ ව්‍යුහය” සංශෝධනය කිරීම. ඊට,
      • යෝජිත පනත් කෙටුම්පතේ 18 (2) (ඌ) උප වගන්තිය සංශෝධනය කරමින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නාමිකයෙකු වෙනුවට එහි සභාපතිවරයා නිලබලයෙන් පාලක මණ්ඩලය නියෝජනය කිරීම සඳහා නම් කිරීම,
      • යෝජිත පනත් කෙටුම්පතේ 18 (2) උප වගන්තිය සංශෝධනය කරමින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ හා උසස් අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත පත් කරන ලද උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතාවයක් ලත් සාමාජිකයින් දෙදෙනකු පාලක මණ්ඩලය නියෝජනය කිරීම සඳහා නම් කිරීම.
      • යෝජිත පනත් කෙටුම්පතේ 18 (6) උප වගන්තිය සංශෝධනය කරමින් ඉහත නම් කළ සාමාජිකයින් අතරින් දෙදෙනෙකු ද පාලක මණ්ඩලයේ ඝන පුර්ණය තුළ නියෝජනය වීම සහතික කිරීම.
  3. යෝජිත පනත් කෙටුම්පතේ ”වෙනත් තැනැත්තන්” යන පාඨය නිශ්චිත වශයෙන් අර්ථ නිරුපණය කිරීම.
  4. යෝජිත පනත් කෙටුම්පතේ 31 වන වගන්තිය සංශෝධනය කරමින් විශ්වවිද්‍යාලයේ සිවිල් කාර්ය මණ්ඩලය ආයතන සංග‍්‍රහය යටතේ ද, ත‍්‍රිවිධ හමුදා කාර්ය මණ්ඩලය ඊට අදාළ හමුදා පනත් (යුධ හමුදා පනත, නාවික හමුදා පනත හා ගුවන් හමුදා පනත) යටතේ ද, පාලනය කෙරෙන බව නිශ්චිතව දක්වමින් ඔවුන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ අනන්‍යතාවය ආරක්ෂා වන පොදු විනය රාමුවක් සැකසීම.
  5. විශ්වවිද්‍යාලයේ සිදුකරන සියලූ අධ්‍යයන කටයුතු උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පමණක් අදාළ වන බවටත්, ප‍්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් අදාළ නොවන බවටත්, තහවුරු වන ආකාරයේ සංශෝධනයන් සිදු කිරීම.

ඒ අනුව, ඉහත සඳහන් මුලික නිර්දේශයන් ක‍්‍රියාත්මක කර ගැනීම උදෙසා නීති සම්පාදන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලූ පාර්ශ්වයන් වෙත අවශ්‍ය නියෝජනයන් සිදු කිරීමත්, “සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම” යථාර්තයක් බවට පත් කොට එමගින් අනාගතයේ දී මෙම විශ්වවිද්‍යාලය මගින් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ‍්‍රී ලාංකීය ශිෂ්‍ය ප‍්‍රජාවට ඇති අයිතිය ආරක්ෂා කිරීමත්, ඒ සඳහා අවශ්‍ය සියලූ මැදිහත්වීම් සිදු කිරීමත්, අප සංගමයේ පරම හා අත්හල නොහැකි වගකීමක් ලෙස සළකනු ලබන බවද අවධාරණය කර සිටිමු.

Rivira FB Group Rivira Youtube
To Top