අධ්‍යාපනය

විභාගය පවත්වන්නේ සෞඛ්‍යාරක්ෂිතවයි, සිසුන් 1500ක් කොළඹ කැඳවා පවත්වන නීති විද්‍යාල විභාගය කල් දැමීමේ සූදානමක් නෑ

ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් 2020 ඔක්තෝබර් මසට අදාළ විභාගය 2021 මාර්තු මස ආරම්භ කළ විෂයන් කිහිපයක් පමණක් තිබිය දී දින නියමයක් නොමැතිව කල් දමා තිබුණා.

ඒ අනුව, යළිත් 2021 අගෝස්තු මස 02 දින සිට යළි ආරම්භ කර තිබූ අතර මේ වනවිට ඉතිරිව ඇත්තේ තවත් විෂයන් ‌2ක් පමණක් බව නීති විද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව, එම විභාගයන් අගෝස්තු මස 13 හා 17 යන දිනවල පැවැත්වීමට නියමිත බවත් එම විභාගයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් සිදුකරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා.

කෙසේ වෙතත්, පසුගිය දිනවල දී ඇතැම් වෙබ් අඩවි මගින් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ දිවයින පුරා විසිර සිටින ශිෂ්‍යයින් 1500ක් පමණ කොළඹට කැඳවා පවත්වාගෙන යන මෙම විභාගය මගින් රට පුරා කොරෝනා පොකුරු මතුවීමේ අවදානමක් ඇති බවයි.

නමුත් නීති විද්‍යාලයේ ප්‍රකාශකයා සඳහන් කළේ මෙම විභාගය අදාළ සියලු පාර්ශවවලින් අවසර ලබාගෙන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වාගෙන යන බවයි. එසේම, යම් හෙයකින් විභාගය අතරතුර වෛරසය ආසාදනය වන්නේ නම් අදාළ ශිෂ්‍යයින්ට මුහුණු දීමට නොහැකි වන විෂයන් ඉදිරි විභාගයක දී පෙනී සිටිය හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද පවසයි.

එසේම, කොළඹ නීති විද්‍යාලයේ දී හා ලුම්බිණි විද්‍යාලයේ දී මෙම විභාගයන් පැවැත්වෙන අතර නීති විද්‍යාලය තුළ ශිෂ්‍යයින් 200ක් පමණ හා ලුම්බිණි විද්‍යාලය තුළ සිසුන් 1300ක් පමණ විභාගය සඳහා පෙනී සිටින බව වාර්තා වේ. එසේම, මේ වනවිටත් එම විභාගයට පෙනී සිටි ශිෂ්‍යයින් දෙදෙනකු ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

මෙම විභාගය සම්බන්ධයෙන් දෙරණ 360 වැඩසටහනේ දී මාධ්‍යවේදී සංඛ අමර්ජිත් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා සිටියේ 1500ක් පමණ සහභාගී වන මෙම විභාගය සඳහා පෙනී සිටින බොහෝ ශිෂ්‍යයින් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් බැවින් ඔවුන් එන්නත් එක් මාත්‍රාවක් හෝ නොගත් පිරිසක් ලෙස මෙලෙස විභාගය් පැවැත්වීමට අනුමැතියක් ලබා දෙන්නේ කෙසේ ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ ඔවුන් 1500කට විභාග පැවැත්වීමට අවසරයක් ලබා දී නොමැති බවයි. එහෙත් දැනට වරින්වර විභාගයන් කල් දමා ඇති බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විභාග පැවැත්වීමට සිදුකළ ඉල්ලීම්වලට අවසර ලබාදුන් බව ද ඔහු සඳහන් කළා.

එසේම පුද්ගලයින් 100 දෙනෙකුට රැස්විය හැකි ස්ථානයක 30ක පමණ පිරිසක් රැස්වන ආකාරයට විභාග පැවැත්වීමට අවසර දෙනු ලබන බව ඔහු සඳහන් කළා. ඒ අනුව, ශාලා කිහිපයක මීටර් 2ක පරතරයක් ඇතිවන පරිදි අවසර ලබා දීමක් සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම විභාගය පිළිබඳ එල්ල කර තිබූ චෝදනා අතර තවත් චෝදනාවක් වූයේ කොරෝනා ආසාදිත සිසුන් මෙම විභාගයට පෙනී සිටීම සඳහා පැමිණීමේ අවදානමක් ඇති බවයි. එසේම ආසාදිත ඇතැම් ශිෂ්‍යයින් ‌ඒ බව නොදන්වා පැමිණීමේ අවදානමක් ඇති බව ද එමගින් පෙන්වා දී තිබුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නීති විද්‍යාල පාර්ශවයෙන් පැවසෙන්නේ ඔවුන් ශිෂ්‍යයින් ඇතුල් කරගනු ලබන්නේ දෑස් සේදීමෙන් හා උෂ්ණත්වය මැනීමෙන් අනතුරුව පමණක් බැවින් එවැනි අවදානමක් ඇති නොවන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top