අධ්‍යාපනය

1500ක් කොළඹ කැඳවා පවත්වන නීති විද්‍යාල විභාගයට එරෙහිව ශිෂ්‍ය සංගමයෙන් පෙත්සමක්

රට තුළ පවතින වසංගත තත්වය මධ්‍යයේ ශිෂ්‍යයින් 1400කට අධික විභාග අපේක්ෂකයින් පිරිසක් කොළඹට කැඳවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පැවැත්වීමට එරෙහිව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය ‌අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමින් සිටී.

ඒ අනුව, වානිජ නීතිය 1 සහ වානිජ නීතිය 2 ප්‍රශ්න පත්‍රය අගෝස්තු මස 13 හා 17 දිනවල දී කොළඹ නීති විද්‍යාලයේ දී හා ලුම්බිණි විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව ශිෂ්‍ය සංගමය පෙන්වා දෙනවා.

එම සංගමය සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකින් පවසන්නේ ශ්‍රී නීති විද්‍යාල කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු කොවිඩ්-19 ආසාදිත බව මේ වනවිටත් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ‌තවමත් කිසිඳු නිරෝධායන වැඩපිළිවෙලකින් තොරව විභාග රාජකාරි සිදුකරමින් සිටින බවයි.

එසේම මේ වනවිට, විභාගට පෙනී සිටි අපේක්ෂකයින් අට දෙනෙකු දැනටමත් වෛරසය ආසාදිතව සිටින බව ද අනාවරණය වී ඇති බව පෙන්වා දෙන ඔවුන් විමසා සිටින්නේ අවම වශයෙන් ඔවුන්ගේ පළමු පෙළ ආසාදිතයින් සම්බන්ධයෙන් හෝ කිසිඳු පියවරක් ‌ගැනීමට නීති විද්‍යාලය අසමත්ව ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදුකිරීම වෙනුවට නීති විද්‍යාල පරිපාලනය විසින් පළමු සම්බන්ධතා සියල්ලන්ම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ විභාග වලට සහභාගී වන ලෙස දිරිමත් කරමින් සිටින බවට ද ශිෂ්‍ය සංගමය චෝදනා කර සිටී.

නීති විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් බරපතල අනාවරණයක් සිදුකරමින් කියා සිටින්නේ වෛරසය ආසාදිත සිසුන්ට විකල්පයක් ලබා නොදෙන අතර, ආසාදිත බව හඳුනාගත්ත ද, පළමු පෙළ ආශ්‍රිතයෙකු වුවද විභාගයට පෙනී සිටීමට සිදු ව ඇති බවයි..

නීති විද්‍යාලය තැබූ සටහනේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.

“ශිෂ්‍ය ජනගහනයෙන් බහුතරයක් වයස අවුරුදු 30 ට අඩු අය වෙති. එම නිසා ඔවුන්ට කොවිඩ් -19 එන්නත ලැබී නැත. එම නිසා, සිසුන්ගෙන් බහුතරයක් සෞඛ්‍යමය වශයෙන් බරපතල අනතුරකට මුහුණ පා සිටිති.

නිරෝධායනය තුළ සිටියදී සිසුන් කිහිප දෙනෙකු විභාගයට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් සමහරෙකු මේ වන විටත් ආසාදිත බව හඳුනාගෙන ඇති අතර, කොවිඩ් රෝග ලක්‍ෂණ ද පෙන්නුම් කර තිබුණි. විභාගය අවසන් වන තුරු පරීක්‍ෂකවරුන්ට මෙම සිසුන් හඳුනා ගැනීමට නොහැකි වූ අතර නිසැකවම අනෙක් සෑම විභාග අපේක්‍ෂකයෙකුම වෛරසය වැළඳීමේ විශාල අවදානමට නිරාවරණය වන වාතාවරණයක් ඇති වී තිබේ.

නේවාසිකාගාර තුළ විශාල පිරිසකට නවාතැන් ගැනීමට සුදුසුම කාලය මෙය නොවන බව අපි විශ්වාස කරමු, විශේෂයෙන් ඔවුන් යාපනය, නුවර, ගාල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන හෙයින්, දිනපතා කොවිඩ් -19 මරණ 100 කට වඩා වාර්තා වේ. එසේම, ඔවුන්ට කොළඹ රැඳී සිටීමට නොහැකි වීම නිසා ඔවුන් එහාට මෙහාට ගමන් කරන අතර සෑම දිනකම කොළඹ සිට පිට පළාත්වලට වෛරසය පැතිරීමේ අවදානම තවදුරටත් පුළුල් කරයි.

විභාගය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතියක් ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පරිපාලනය අවධාරණය කරයි. පවතින තත්ත්වය යටතේ සිසුන්ගේ ආරක්‍ෂාව සහ රටේ යහපැවැත්ම තහවුරු කරමින් මෙම තීරණය සමාලෝචනය කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඉතා තීරණාත්මක අවස්ථාවක එය දැඩි අවශ්‍යතාවක් යැයි අපි විශ්වාස කරමු.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ නීති විද්‍යාල පරිපාලනයේ වැරදි වැටහීම නම්, මේ මොහොතේ සාම්ප්‍රදායික පෑන කඩදාසි ක්‍රමයට විභාග පැවැත්වීමට එරෙහි කිහිප දෙනෙකු පමණක් යැයි සිතා සිටීමයි.

මෙය නිවැරදි කිරීම සඳහා සහ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේම හඩ නියෝජනය කිරීම සඳහා අපි මෙම පෙත්සම ගරු අගවිනිසුරුවරයා, සංස්ථාපිත නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් නිලධාරීන් වෙත භාර දීමට බලාපොරොත්තු වෙමු.”

පෙත්සම – https://bit.ly/3iB4kFy

Rivira FB Group Rivira Youtube
To Top