ව්‍යාපාර

Exclusive: ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිතාවය බිඳ දමා ආර්ථික අර්බුදයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක්

ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ස්ථායිතාවය කෘතිම ක්‍රියාකාරකම් ඔස්සේ බිඳ දමමින් ආර්ථික අර්බුදයක් ඇති කිරීම සඳහා වන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආර්ථික ස්ථායිතාවය වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරය රිවිර.lk වෙත අනාවරණය කර සිටියා. ඒ අනුව, වසංගත තත්වය හමුවේ දැඩි ආර්ථික පීඩාවකට පත්ව සිටින ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ දී දැඩි පියවර අනුගමනය කරමින් යළිත් නැගී සිටීමට උත්සාහ දරමින් සිටින බව පෙන්වූ එම ව්‍යාපාරය කියා සිටියේ මෙරට බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය පදනම් කරගනිමින් ජනතාව වෙත අනිසි බියක් ඇති කර මෙම අර්බුදය නිර්මාණය කිරීමට සංවිධානත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බවයි.

එම ක්‍රියාවලිය සඳහා ඔවුන් යොදා ගැනීමට සූදානම් වන්නේ රටේ වැඩි පිරිසක් ලවා එකවර සිය බැංකු ගිණුම් තුළ ඇති මුදල්, නෝට්ටු ලෙස ලබා ගැනීමට පෙළඹවීමේ සරලම ක්‍රමය බව ද ඔවුන් පෙන්වා දෙනවා. මේ සඳහා විදෙස් ගත දේශපාලන ක්‍රියාකාරිකයින් පිරිසක් යොදාගෙන ඇති බව පෙන්වා දුන් එම ව්‍යාපාරය සඳහන් කළේ ජනතාවට තම මුදල් සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර එම මුදල් බැංකුවලින් ලබා ගැනීමට පෙළඹවීම එම පිරිස මේ වනවිටත් සිදුකරමින් සිටින බවයි.

මේ වනවිට බොහෝ සේවා සඳහා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීමට හැකියාව තිබිය දී එම පිරිස මුදල් අතැතිව සිටීම වඩාත් උචිත බවට ජනතාවට ඒත්තු ගන්වමින් තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට පෙළඹවීම විවිධ සමාජ ජාල ඔස්සේ මේ වනවිටත් සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස එම ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top