කොවිඩ්-19

මැ.කො. ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වෙයි

Updated

රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට ‌වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

එසේම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපති, එයාර් මාර්ශල් සුදර්ශන පතිරණ මහතාට වෛරසය ආසාදිත බවට මීට පෙර වාර්තා වුවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගුවන් හමුදාපතිවරයා සමග සමීපව කටයුතු කළ කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බැවින් ගුවන් හමුදාපතිවරයා ස්වයං නිරෝධායනයට ලක් වූ බවයි. ඒ අනුව, ඔහු මේ වනවිට සිය නිරෝධායන කාල සීමාවේ දෙවන සතිය ගත කරමින් සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේ ‌නමුත් මෙම සියලු නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔහුගේ තත්වය ද සාමාන්‍ය තත්වයෙන් පවතින බව ‌වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top