Business

අත්‍යවශ්‍ය සේවා සඳහා හදිසි නීතිය පනවයි, මේජර් ජෙනරාල් නිවුන්හැල්ල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ධූරයට

වසංගත තත්වය තුළ ද කූට වෙළෙඳුන් විසින් අත්‍යවශ්‍ය ආහාර තොග සඟවා කෘතීම මිලක් නිර්මාණය කරමින් අසාමාන්‍ය ලාබයක් ලැබීමට කටයුතු කිරීම මේ දිනවල දකින්නට ලැබේ.

ඊට විසඳුමක් ලෙස සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර ඇත. මේ අනුව, ඊට පත් කර ඇත්තේ මේජර් ජෙනරාල් එම්. ඩී.එස්. පී. නිවුන්හැල්ල මහතා ද බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළව රට තුළ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමෙන් පසුවයි. ඒ අනුව, අගෝස්තු 30 දින මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සම්පුර්ණ නිවේදනය පහතින්,

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි අතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත් හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.

සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එම්. ඩී.එස්. පී. නිවුන්හැල්ල මහතා පත් කර ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top