අධ්‍යාපනය

වසංගත තත්වය හමුවේ පවා මස් රාත්තලම ඉල්ලන “ගුරුවරුන්” දරුවන්ගේ අධ්‍යාපනය උකසට ගනී

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ රජයට දිය හැකි, ගුරුවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම රජය විසින් ලබා දී ඇති බව ගුරු වැටුප් ගැටළුව විසඳීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුවේ සාමාජික, අමාත්‍ය විමල් වීරවංශ සැප්තැම්බර් 01 දින පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළා.

රට පුරා වසංගත තත්වයක් පැතිර ඇති මොහොතක රජය විසින් ලබා දී ඇති විසඳුම පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව හා ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නමැද ඇරයුම් කරන බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළා.

“ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින්ම පෙන්වා දෙන ආකාරයට මෙම ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය වසර 24ක් තිස්සේ බලපැවැත්වූ ප්‍රශ්නයක්. ජනාධිපතිවරණය සඳහා අප විසින් ඉදිරිපත් කරන ලද ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද මෙම ප්‍රශ්නය විසඳන වට අප ප්‍රතිඥා දී තිබෙනවා. ඒ වගේම මෙම අනුකමිටුවේ මූලිකත්වය ගෙන කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මැතිතුමන් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවල ප්‍රධාන ඉල්ලීමක් වූ ගුරු සේවය, ගුරු උපදේශක සේවය හා විදුහල්පති සේවය යන සේවා තුන ඒකාබද්ධ කොට සංවෘත සේවාවක් හඳුන්වා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ද ලැබී තිබුණා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

“උතුරේ අධ්‍යාපනය එළෙසම”

“අපි දන්නා විදිහට උතුරේ දරුවෝ, කොළඹ ප්‍රධාන පාසල්වල දරුවෝ, පෞද්ගලික පාසල්වල ඉගෙනගන්න දරුවෝ මාර්ගගත අධ්‍යාපනය ලබනවා. එතකොට අද මේ මාර්ගගත අධ්‍යාපනය ලබන්න බැරි වෙලා තිබෙන්නේ එක්තරා සැලකිය යුතු දරුවන් පිරිසකට පමණයි. ඒ දරුවන්ට පමණයි මේ අසාධාරණය සිදු වන්නේ. ඒ දරුවනුත් මේ රටේ දරුවෝ. ගුරු වෘත්තියේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය, අභිමානය කවුරුත් අලුතෙන් පැහැදිළි කළ යුතු නැහැ.”

“මෙවැනි වසංගත තත්වයකදී ගෙදරට හිර වෙලා ඉන්න, තමන්ගේ සමවයස් පිරිස් සමග කෙළිදෙලෙන් ගත කිරීමට බැරිව ඉන්න අපි කාගේත් දරුවන්ගේ නාමයෙන් මේ විසඳුම් පිළිගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීම සඳහා ඉදිරියට එන්න කියා ඉතා කරුණාවෙන්, ඉතාමත්ම බැගෑපත්ව මේ රටේ සියලුම විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ දෙපා නැමද ආරාධනා කරනවා.’රජයක් විදිහට මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ අපට දිය හැකි, ඔබට පිළිගත හැකි හොඳම විසඳුම අප ලබාදී තිබෙනවා. මීට වඩා වැඩි දෙයක් ඉල්ලමින් මේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැසීම නොකළ යුතු දෙයක් බව ද සඳහන් කළ යුතුයි” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top