ව්‍යාපාර

සීනි හැංඟූ සමාගම් රජය හෙළි කරයි, විෂ පොල්තෙල් ගෙනා සමාගමකුත් ඒ අතර

ගබඩා තුළ සඟවා තිබිය දී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් සැප්තැම්බර් (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.‍

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි. 2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ.

එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි විය.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි 2021-08-30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා බලතල ලබාදීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය.

සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මෙලෙස සීනි සැඟවූ සමාගම් අතර පසුගිය දිනවල හෙළි වූ විෂ පොල්තෙල් මෙරටට ගෙන ආ සමාගමක් වන පිරමීඩ් විල්මාර් සමාගම ද සිටී.

2021.09.01 දින වනවිට රජයට පවරාගත් සීනි තොග පිළිබඳ විස්තර පහතින් දැක් වේ. සම්පූර්ණ ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 29,900කි.

  • Pyramid Wilmar Company මුතුරාජවෙල -ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 6200
  • Global Trading Company 809/5, මීගමුව පාර, මාබෝල, වත්තල-ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 4800
  • Global Trading Company 242, උස්වැටකෙයියාව, වත්තල-ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 4100
  • Wilson Trading Company (ගබඩා සංකීර්ණ 04)-ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 14,000
  • R.G. Stores හුණුපිටිය පාර, කිරිබත්ගොඩ-ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 800
Rivira FB Group Rivira Youtube
To Top