නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සුපිරි වෙළඳසැලකට ඇතුළු වී පුද්ගලයින් 6 දෙනෙකුට පමණ පිහි පහර එල්ල කරමින් සිටි ආගමික අන්තවාදියෙකු එරට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සැප්තැම්බර් 03 දින වාර්තා කළා.
අයිඑස්අයිඑස් මතවාදයෙන් ආභාෂය ලැබූ පුද්ගලයෙකු බවට සැක කෙරෙන එම පුද්ගලයා ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික පුරවැසියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර “දරුණු අන්තවාදියෙකු” ලෙස නවසීලන්ත ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන සිට තිබෙනවා.
ජාතිය අමතමින් නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩර්න් සඳහන් කළේ එම අන්තවාදී පුද්ගලයා ප්‍රහාරය ආරම්භ කර තත්පර 60 ක් ඇතුළත පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර 2011 ඔක්තෝම්බර් මාසයේ සිට ඔහු නවසීලන්තයේ පදිංචිව සිට ඇති බවයි.
“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත අභාෂය ලැබූ ප්‍රචණ්ඩකාරී අන්තවාදියෙකු අහිංසක නවසීලන්ත වැසියන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේය” යනුවෙන් ජසින්ඩා ආඩර්න් සිකුරාදා ජාතිය අමතමින් පැවසීය.
ප්‍රහාරයට පෙර අදාළ පුද්ගලයා පිළිබඳ තමා පෞද්ගලිකව දැනුවත්ව සිටි බව ආර්ඩර්න් මහත්මිය තහවුරු කළ අතර සිදු වූ දෙය අසා තමා පෞද්ගලිකව දැඩි කම්පනයට පත් වූ බව පැවසුවාය. “මෙම පුද්ගලයා අපේ ජාතික ආරක්‍ෂක ඒජන්සි දන්නා සහ සැලකිලිමත් වූ සහ නිරන්තර අධීක්ෂණයට ලක් වූ අයෙකි. මෙම ගණයට වැටෙන්නේ ස්වල්ප දෙනෙක්” බව ද පැවසීය.

