ව්‍යාපාර

ව්‍යාජ අධික මිලකට වාහන ගන්න එපා, හේතුව මෙන්න

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙරට වාහන වෙළඳපොලේ වාහන මාෆියාවක් ක්‍රියාත්මක වී ඇති බව වාහන අලෙවිකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එක්තරා කණ්ඩායමක් විසින් අඩු මිලකට වාහන මිල දී ගෙන අනාගතයේ විකිණීම සඳහා වාහන රැස් කර තබා ගැනීමේ කූඨ වෙළෙඳ උපක්‍රමයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ඒ සඳහා ඔවුන් වර්තමානයේ දී අධික මිලක් සටහන් කරමින් වාහන අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කරමින් සිටින අතර වාහන සඳහා කෘතීම මිලක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇති බව ද වාහන අලෙවිකරුවන් පවසනවා.

රිවිර.lk වෙත අදහස් දක්වමින් මාලබේ ප්‍රදේශයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ වාහනයක් මිල දී ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් පමණක් වෙළඳපොලේ මිල සසඳා බැලීමෙන් අනතුරුව වාහනයක් මිල දී ගන්නා ලෙසයි. එසේම, අත්‍යවශ්‍යතාවයක් නොමැති නම් වාහනයක් කුලියට ගෙන භාවිතා කිරීම හෝ කුලී හයර් වාහන භාවිතා කිරීම මෙවැනි මොහොතක වඩාත් යෝග්‍ය බව ඔහු පෙන්වා දුන්නා.

එසේම, වාහන මිල දී ගැනීමට තබාගෙන ඇති මුදල් යොදවා වෙනත් ආයෝජන සිදුකිරීම මෙවැනි අවස්ථාවක වඩාත් යෝග්‍ය බවත් කෘතීම ලෙස ඉහළ දැමූ මිලකට වාහනයක් මිල දී ගැනීමෙන් පසු කාලයක දී අධික පාඩුවක් විඳ දරා ගැනීමට සිදුවිය හැකි බවත් තවත් මෝටර් කාර්මික ඉංජිනේරුවරයෙකු රිවිර.lk වෙත සඳහන් කර සිටියා. යළිත් වරක් වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් විගසම වර්තමානයේ දී රුපියල් කෝටි 2ක පමණ කෘතීම මිලක් යටතේ ඇති වාහන රුපියල් ලක්ෂ 80ක පමණ මිලක් දක්වා පහත බසිනු ඇති බව ඔහු සඳහන් කළා. උදාහරණ වශයෙන් ඔහු වාහන කිහිපයක මිල පෙන්වා දෙමින් කියා සිටියේ වාහන ආනයනය කිරීමට අවසර දුන් සැණින් පහත මිල ගණන් දක්වා වාහන මිල පහත වැටෙනු ඇති බවයි.

  • ටොයෝටා ප්‍රිමියෝ (2019) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 2යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 85යි.
  • ටොයෝටා ඇලියොන් (2019) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 1.8යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 80යි.
  • හොන්ඩා වෙසල් (2018) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 1.6යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 65යි.
  • හොන්ඩා වෙසල් (2017) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 1.5යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 60යි.
  • හොන්ඩා සිවික් (2018) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 1.5යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 65යි.
  • හොන්ඩා සිවික් (2017) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 1.4යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 60යි.
  • ටොයෝටා ඇක්සියෝ (2019) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 1.25යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 70යි.
  • ටොයෝටා විට්ස් (2019) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 1යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 45යි.
  • බීඑම්ඩබ් 5 සීරීස් (2015) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 2.7යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 90යි.
  • ටොයෝටා ප්‍රාඩෝ (2015) - වර්තමාන කෘතීම මිල - රුපියල් කෝටි 3.7යි - සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 135යි.

එසේම, මේ අවස්ථාවේ බොහෝ විට ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන්නේ ලෙඩ අධික වාහන විය හැකි බව ද වාහන අලෙවිකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top