සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 07 දින පැවති සාකච්ඡාවක දී තීරණය කර ඇත.
කෙසේ වෙතත් අදාළ භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළ යෑමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ය.
ඒ අනුව, ඔක්තෝබර් 08 දින කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 355කින් ඉහළ දැමීමට තමන් තීරණය කර ඇති බවයි.
ඒ අනුව රුපියල් 945ක්ව පැවති කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1300ක උපරිම මිලකට යටත්ව සහ සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක උපරිම මිලකට යටත්ව මිල නියම කිරීමට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මෙම මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් දැනුවත් කර නොමැති අතර ඉදිරියේ දී එම ආයතනයද දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මිල ගණන් නියම කිරීමෙන් පසු රජය විසින් කිරිපිටි මත පනවා ඇති බදු මුදල් ඉහළ දැමීමක් හෝ නව බදු පැනවීමක් සිදුකළහොත් තවදුරටත් මිල ඉහළ යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කළේ ය.
පසුගිය සති කිහිපයක සිට ආනයනික කිරිපිටි වෙළඳපොලට නිකුත් නොකිරීම හේතුවෙන් වෙළඳපොලේ උග්‍ර කිරිපිටි හිඟයක් පැවති අතර මිල වැඩි කිරීමට බලකරමින් සමාගම් විසින් කිරිපිටි තොග වෙළඳපොළට නිකුත් කිරීමෙන් වැළකී සිටි බවට ජනතාව චෝදනා කර සිටී.
කෙසේ වෙතත්, මීට පෙර සහල් සඳහා පැනවූ පාලන මිල ද ඉවත් කළ අතර මේ වනවිට වෙළඳ මාෆියාවට අවශ්‍ය පරිදි දැනට පනවා ඇති පාලන මිල ගණන් ඉවත් කර වෙළෙඳුන්ට අවශ්‍ය පරිදි මිල හැසිරවීමට අවස්ථාව ලබා දී ඇති බවට විවිධ පිරිස් විසින් ආණ්ඩුවට චෝදනා කර සිටී.

