Politics

කබ්රාල් මහබැංකු අධිපතිධූරයට පත් කිරීමට එරෙහි පෙත්සම නිශ්ප්‍රභ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමේ තීරණය බලරහිත කිරීමට නියෝගයක් හා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නොවැම්බර් 03 දින එම නියෝගය කරනු ලැබීය.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35 වන වගන්තිය ප්‍රකාරව එම පත්වීම අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි බවට මූලික විරෝධතා මතුකර තිබුණි.

ඊට අමතරව නීතිපතිවරයා විසින් තවත් මූලික විරෝධතා කීපයක් ද ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශය ට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා අධිකරණය විසින් පිළිගන්නා බවයි.

ඒ අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති හෙයින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ද විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු පළාතේ ආණ්ඩුකාරවරයෙකු ලෙස පත් කළ, මැතිවරණ නිරීක්ෂකයෙකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ. වයි.පී. ප්‍රනාන්දු යන අය නම් කර තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top