සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ජනතාවගේ ජීවන බර අතිශයින් දැරිය නොහැකි තත්වයකට පත්වීමට මෙම තීරණය අහිතකර ලෙස බලපානු ඇත.
නොවැම්බර් 03 දින අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල වහාම බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මෙම නව ගැසට් පත්‍රය මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් අවලංගු කර තිබේ.
මේ අනුව, 2021 සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කර තිබේ.
එසේම, 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය ද නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිල ද ඉවත් වන අතර එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.
එසේම, 2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය ද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.
මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබීය.
මෙලෙස පාලන මිල ඉවත් කිරීමත් සමග එම මිල ගණන් තීරණය කිරීමේ අවස්ථාව වෙළෙඳුන්ට හිමි වේ. ඒ අනුව, භාණ්ඩ සැපයුම සීමා කරමින් අසීමිත ලෙස මිල ඉහළ දැමීමට වෙළෙඳුන්ට හැකියාව ලැබේ. සාමාන්‍ය තත්වයක් තුළ දී පාලන මිලක් නොමැති අවස්ථාවලදී තරඟකාරී ලෙස මිල තීරණය වීම සිදුවුවද ආනයන පවා සීමා කර ඇති වත්මන් වසංගත තත්වය මධ්‍යයේ මිල තීරණය කිරීම සිදුවන්නේ මහා පරිමාණ වෙළෙඳුන්ගේ මෙහෙයවීම මත බව නොරහසකි. ඒ අනුව, තරඟකාරී මිලක් වෙනුවට වෙළෙඳුන් තීරණය කරන අතිශය ඉහළ මිලකට භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයාට සිදුවේ.
නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

