ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව නොවැම්බර් 04 දින වනවිට 13,791ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් මරණ 11,699ක් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකට අනුව 714 දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් බව අනාවරණය වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ, නේවාසික ශ්වසන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආශා සමරණායක මහත්මිය සඳහන් කර සිටියේ, එම සමීක්ෂණය සැප්තැම්බර් මාසය දක්වා මෙරට සිදුවු සමස්ත කොවිඩ් මරණ ආශ්‍රයෙන් සිදුකළ බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,
“11,699ක් මරණ සමීක්ෂණය කරලා තිබුණා සැප්තැම්බර් මාසයේ මැද. එයින් 714ක් ම එන්නත් දෙකම ලබාගත් අය. ප්‍රතිශතයක් විදියට 6.01%ක්. ඇයි මෙහෙම වෙන්නේ ඒ අයට, අධි අවදානම් ප්‍රශ්න තිබුණා. බෝ නොවන රෝග තියෙන අය එන්නත් ගත්තත් සමහර විට අමාරු වෙලා හිටියා.”
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව 13,521,066 දෙනෙකු වේ. එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 15,718,509ක් බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පෙන්වා දෙයි.
එසේම, මේ වනවිට තෙවන මාත්‍රාව ද 21,924 දෙනෙකු සඳහා ලබාදී තිබේ.

