ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

“එක රටක් – එක නීතියක්” බලකායේ තටු කපයි, නාම මාත්‍රික බලකායක් කරයි

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ බලතල කප්පාදු කොට ඉල්ලා අස්වූ සාමාජිකයින් වෙනුවෙන් නව සාමාජිකයින් පත්කොට නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී දමිල ප්‍රජාව නියෝජනය කිරීම සඳහා නව සාමාජිකයින් තිදෙනෙකු පත් කිරීම ද සිදුකර තිබෙනවා.

නමුත් නොවැම්බර් 06 දිනැතිව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් නිකුත්කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම කාර්ය සාධක බලකාය වෙත පවරා තිබූ කාර්යයන් හා බලතල ද සංශෝධනයට ලක්කර ඇති බව පෙනී යයි.

එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා මෙරටට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම පමණක් මෙම කාර්ය සාධක බලකායට පවරා ඇත.

මීට පෙර ඔක්තෝම්බර් 26 දිනැතිව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව, “එක රටක් – එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කොටු ඒ සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමටත්, අධිකරණ අමාත්‍යංශය මගින් මේ සම්බන්ධයෙන් සකස් කොට ඇති සංශෝධනයන් සුදුසු නම් ඒවා සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කොට පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට බලතල ලබා දී තිබුණි.

එමගින් වඩාත් යහපත් වූ සංශෝධනයන් සිදුකිරීමට අවස්ථාව තිබුණ ද නව ගැසට් නිවේදනය මගින් අදාළ බලතල ඉවත් කොට නාම මාත්‍රික බලකායක් බවට එම බලකාය පත් කොට තිබෙනවා. එමගින් අධිකරණ අමාත්‍යංශයට මෙම බලකාය සම්බන්ධයෙන් කිසිඳු තැකීමක් කිරීම අවශ්‍ය නොවන අතර මෙම බලකාය නොසළකා ක්‍රියා කිරීමට බලය හිමිවේ.

මෙලෙස මෙම බලතල ඉවත් කිරීමට හේතු වූයේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මෙම බලකායට විරෝධය පා ඉල්ලා අස්වීමට සැරසීම වන අතර මෙලෙස එම බලකායේ බලතල ඉවත් කරමින් ගැසට් නිවේදනය සංශෝධනය කරන බවට පොරොන්දු වීම මත එම ඉල්ලා අස්වීම අස්කර ගැනීමට අමාත්‍යවරයා එකඟ වූ බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පළ විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මස 26 වන දින එම කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබීය.

එහි ප්‍රධානත්වය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් දරණු ලබන අතර ආරම්භයේදී සාමාජිකයින් 13 දෙනෙකු කටයුතු කළේය.

කෙසේවෙතත් පසුව එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මහාචාර්ය දයානන්ද බණ්ඩා මහතා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්ටිකාබ් යන මහත්වරුන් එම කාර්ය සාධක බළකායෙන් ඉවත් වුණි.

දමිල ප්‍රජාව නියෝජනය කරමින් පත් කර ඇති නව සාමාජිකයින් මෙසේය.

  • රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්
  • අයියාම්පිල්ලෙයි දයානන්ද රාජා
  • යෝගේෂ්වරී පද්ගුණරාජා

ඒ අනුව, මෙම නාම මාත්‍රික ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 14 දෙනෙකු සිටී.

  1. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
  2. මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ
  3. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමේධ සිරිවර්ධන
  4. එන්.ජී. සුජීව පණ්ඩිතරත්න
  5. නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න
  6. නීතිඥ සංජය මාරඹේ
  7. එරන්ද නවරත්න
  8. පානි වෑවල
  9. මවුලවි මොහමඩ් – ගාල්ල උලමා සභාව
  10. කලීල් රහුමාන්,
  11. අබ්දුල් අසීස් මෙහාමඩ් නිසාර්දීන්
  12. රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්
  13. අයියාම්පිල්ලෙයි දයානන්ද රාජා
  14. යෝගේෂ්වරී පද්ගුණරාජා
Rivira FB Group Rivira Youtube
To Top