දේශීය පුවත්

දැල් වූ පහන නිවී යයි, ලක්ෂ්මන් විජේසේකර දිවි සැරිය නිමා කරයි

Photo - Dayan Witharana

ප්‍රවීණ සංගීතඥයෙකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගුකලක් රෝගීව සිටි ඒ මහතා නොවැම්බර් 12 දින පස්වරුවේ මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වූ ඒ මහතා 2019 වසරේ මියගිය රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අතර රංගන ශිල්පිනියක වන අමා විජේසේකර මහත්මියගේ පියා ද වේ.

දැල් වූ පහන්, සුපෙම් හැඟුම්, බාල ළමාවරුනේ, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට තරුවකි, දෑත දෙපාලන, මේ ප්‍රේම සීමා මාලකේ සහ සඳ කිණිති නැමී’ ඇතුළු ගීත ඒ මහතාගේ ජනප්‍රිය ගීත අතරින් අතලොස්සකි.

ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් 14 දින ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කෙරනු ඇත.

Photo – Dayan Witharana

ප්‍රවීන ඡායාරූප ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වන දයාන් විතාරණ මහතා ලක්ෂ්මන් විජේසේකර මහතා පිළිබඳ ෆේස්බුක් ඔස්සේ තැබූ සටහන මෙසේය.

“ආදරණීය ලක්ෂ්මන් සර් හෙට දැයෙන් සමුගන්නා බව තවමත් මට අදහනු බැරි තරම් ය

කලක් පිළිකා රෝගය සමග සටන් කරමින් සිට ඊයේ දින සන්ධ්‍යාවේ අප අතරින් වියෝ වූ ප්‍රවීණ ජනප්‍රිය ගායන සහ රංගනවේදී, සංගීතඥ ලක්ෂ්මන් විජේසේකරයන්ගේ නිසල දේහය මේ වන විට ඔහුගේ කලාපුරයේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කොට ඇති අතර හෙට දින දහවල දක්වාම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා නිවසේ දී අවසර හිමි වේ.

ඉන්පසුව දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සවස 5ට සිදු කිරීමට නියමිත අතර ඔහුගේ සොවින් කම්පිත මුළු දැයකටම තවමත් මෙය අදහාගත නොහැකි බව මට ද දැනේ.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ හිටපු සංගීත ආචාර්යවරයෙකු වන ඔහු මට ද 1982 වසරේ මා නන්දා මාලනී සංගීත ආශ්‍රමයට බැඳුණ දා පටන්ම මේ දක්වාම මහත් සෙනෙහැති ගෞරවණීය ගුරුවරයෙක්ම වූවේය.

කේ. එම්. දයාපාලයන් යටතේ සංගීත ශාස්ත්‍ර ලබා රජයේ සංගීත විද්‍යාලයට ඇතුලත් වන ඔහු ආනන්ද වීරසීරි සහ ආචාර්ය රෝහණ වීරසිංහයන් ද යන සමකාලීන සඟයන් සමග එහි පෝෂණය වූවේය.

සංගීතඥයෙක් සහ ගායකයෙක් ලෙස තමාගේම අනන්‍ය නිර්මාණාවලියක් සමගින් ජනාදරයට පත්වෙන අතරේම කඩවසම් රූපකායේ කාන්තියෙන් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නළුවෙක් ලෙස ද ඔහු දිනූ රසිකාදරය සුළුපටු නැත. සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ තනු රචකයෙක් ලෙස ද කටයුතු කළ ඔහුගේ එක් තනුවක් හෝ ගැයීමට මම ද භාග්‍යවන්තයෙක් වීම මේ මොහොතේ ලද පරම අස්වැසිල්ලයි.

බොහෝ දෙනෙක්ගේ සෝ තැවුල් පිරි සටහන් සහ මතක සමාජ මාධ්‍ය පුරා පැතිරී ඇතත්, ඒ සියල්ලම පාහේ ඉඟිකරනුයේ ලක්ෂ්මන් විජේසේකර නැමැති කලාකරුවාගේ සමුගැනීමේ දුකටත් වඩා මෙවැනි සොඳුරුතම මානව හිතවාදියෙකුගේ නික්ම යෑමේ ඇති සංවේගය බව හැඟේ.

මේ වසරේ පෙබරවාරි 23 වැනිදා අවසන් වරට මගේ කැමරා ඇස ඉදිරියේ නිසල වූ සුපසන් සිනාවෙන්ම පොහොසත්ව තිබූ රුවම මගේ සසල වූ හදවතේ රඳවාගැනීමට අවශ්‍ය වන නිසාවෙන් මා මෙතෙක් ඔහුගේ නිසල දේහය දක්නට ඔහු නිදා සිටින කලාපුරයේ නිවසට නොගියෙමි. හෙට දින මගේ ආදරණීය ගුරුතුමන් හට මගේ අවසන් ගෞරවය දැක්වීම වෙනුවෙන් යෑමට මා බලාපොරොත්තු වුවත් කිසිසේත් දිගු නින්දක පසුවෙන ඔහුගේ රුව දැක්මට මා හට ශක්තියක් තවත් ඉතිරිව නැත.

ආදරණීය ලක්ෂ්මන් සර් මෙන්ම මගේ ආදරණීය චන්ද්‍රා අක්කා ද මේ සසර ගමනේ අපට බොහෝ සෙයින් පෙරාතුව උතුම් වූ නිවන් සුවයෙන්ම නිවී සැනසීම ලබත්වායි මා එකසිතින්ම පිංපෙත් පමුණුවමි !!!”

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top