නොවැම්බර් 16 දින කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන උපමානවලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා නොවැම්බර් 15 දින ප්‍රතික්ෂේප කළේය.
උද්ඝෝෂණය සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමට අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය ඇතුළු කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් හෙට දින කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.
වසංගත ව්‍යාප්තීය හේතුවෙන් රට වසා දමා යළිත් නව සාමාන්‍යකරණය යටතේ රට විවෘත කොට සංචරණ සීමා ද ඉවත් කර පාසල් ද විවෘත කර තිබෙන මෙම අවස්ථාවේ දී සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම හරහා කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වීමට ඉඩකඩ ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
එසේම මෙම උද්ඝෝෂණය තහනම් කරන ලෙස තමා කිසිවිටෙක ඉල්ලා නොසිටින බවත් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පමණක් තමා ඉල්ලා සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය වෙත දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරු මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් අයැද සිටියේය.
ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එම උද්ඝෝෂණය කෙසෙල්වත්ත පොලිස් බලප්‍රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිත ව කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවල මහජන රැස්වීම්වලට සහභාගී විය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බැවින් පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ සත්‍යාපනය කළ නිල ෆේස්බුක් පිටුවේ එම විරෝධතාවය පවත්වන දිනය, වේලාව හා ස්ථානය දැක්වෙන බැනරය පහතින්.

