කොවිඩ්-19

Merck Molnupiravir කොරෝනා ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

එක්සත් ජනපදයේ මර්ක් ආයතනය විසින් නිෂ්පාදිත මොල්නුපිරවිර් නැමැති ඖෂධය ශ්‍රී ලංකාවේ දී භාවිතා කිරීම සඳහා ද මේ වනවිට අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා උපුටා දක්වමින් නිවුස්ෆස්ට් වාර්තා කර තිබේ. ඒ අනුව, මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ්-19 තාක්ෂණික කමිටුව විසින් ඊට අනුමැතිය ලබා දී ඇති බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා තහවුරු කර ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා එක්සත් ජනපදයේ මර්ක් ආයතනය විසින් මොල්නුපිරවිර් නැමැති ඖෂධීය පෙත්තක් නිෂ්පාදනය කර තිබූ අතර නොවැම්බර් 04 දින එක්සත් රාජධානියේ ඖෂධ නියාමන ආයතනය විසින් එය එරට භාවිතය සඳහා අනුමත කර ඇත.

ඒ අනුව, මෙම ඖෂධය භාවිතය අනුමත කළ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත.

මොකද්ද මේ molnupiravir පෙත්ත?

රෝගය හඳුනාගත් වහාම දින 5ක් ඇතුළත වැඩි අවදානමකට ලක්විය හැකි රෝගීන්ට දිනකට දෙවරක් මෙම molnupiravir පෙත්ත ලබා දෙනු ඇත.

සායනික අත්හදා බැලීම් වලදී, මෙම ඖෂධය මගින් රෝහල්ගත වීමේ හෝ මරණයේ අවදානම අඩකින් පමණ අඩු කරනු ඇති බව තහවුරු වී ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඖෂධයට අනුමැතිය දුන් බව නිවේදනය කරමින් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ “අද අපේ රටට ඓතිහාසික දවසක්, එක්සත් රාජධානිය දැන් Covid සඳහා නිවසේදීම ගෙන යා හැකි ප්‍රතිවෛරසයක් අනුමත කළ ලොව පළමු රටයි.” යනුවෙනි.

මෙය ලොව කිසියම් රටකින් අනුමත කළ මුඛයෙන් ලබා දෙන පළමු ප්‍රතිකාරයයි.

Merck, Sharp and Dohme (MSD) සහ Ridgeback Biotherapeutics යන එක්සත් ජනපද ඖෂධ සමාගම් විසින් නිපදවන ලද Molnupiravir යනු කොවිඩ් සඳහා වන පළමු ප්‍රතිවෛරස් ඖෂධය වන අතර පෙති ලෙස ගත හැකි නිෂ්පාදනය කර තිබීම විශේෂයි.

ඖෂධය වඩාත් ඵලදායී වීමට රෝග ලක්ෂණ වර්ධනය වී දින පහක් ඇතුළත ලබා දිය යුතු බව ද නිෂ්පාදන සමාගම පවසයි.

එක්සත් රාජධානියට අමතරව ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාව ඇතුළු අනෙකුත් රටවල් ද මෙම ඖෂධය මිලදී ගැනීමේ ගිවිසුම් ඇති කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Covid ප්‍රතිකාර කිරීම සඳහා පෙති වර්ගයක අත්හදා බැලීමේ ප්‍රතිඵල වාර්තා නිකුත් කළ පළමු සමාගම Merck වේ. එක්සත් ජනපදයේම Pfizer සමාගම ද ප්‍රතිවෛරස් පෙති දෙකක අත්හදා බැලීම් ආරම්භ කර ඇති අතර ස්විට්සර්ලන්ත සමාගමක් වන Roche සමාගම ද සමාන ඖෂධයක් සඳහා පර්යේෂණ කරමින් සිටී.

Rivira FB Group Rivira Youtube
To Top