දේශීය පුවත්

සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමේ, පෙට්‍රල් හෝ ඩීසල් හිඟයක අවදානමක් නෑ – ඇමති ගම්මන්පිල

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. බලශක්ති අමාත්‍යංශයේ නොවැම්බර් 15 දින පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මීට හේතු වී ඇත්තේ, පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් තොග සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත නොලැබීමයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ පෙට්‍රල් හෝ ඩීසල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ දිනෙන් පසු මෙතරම් කාලයකට වසා දැමෙන්නේ ඉතිහාසයේ පළමුවරට බව ද තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසනවා.

විදේශ විනිමය අර්බුදය විසඳා ගන්නා තෙක් මෙම අර්බුදය පවතින බව අමාත්‍යවරයා සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව සපුගස්කන්ද තෙල්පිරිපහදුව වසා දැමීමට අපි තීරණය කළා. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ ජලයෙන්. ගුවන් යානා පැත්තෙන් කෙටි දුර ගුවන් ගමන් සඳහා ගමන ආරම්භ කරන ස්ථානයෙන් තෙල් ලබාගෙන එන්න පුළුවන්. දුර ගමන් යන ගුවන් යානාවලට කොළඹින් ලබා ගන්න වෙන්නේ. ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවිතෙල් සහ ගුවන්යානා තෙල් 56%ක් නිෂ්පාදනය කරන බොරතෙල් ආනයනය කිරීම නතර කරලා ඒ වෙනුවෙන් වැයවන සීමිත විදේශ විනිමය පෙට්‍රල්, ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවලට යොමුකර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. අපි මේ විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහාම බොරතෙල් ආනයනය යළි ආරම්භ කරනවා. උපරිම වශයෙන් දින 50ක් පිරිපහදුව වසා දැමීමට සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බොරතෙල් හිඟයක් ඇති විය හැකි බවත්, එය රටේ ඉන්ධන හිඟයක් ඇති වීමට හේතු නොවන බවත් බොරතෙල් පාවිච්චි කරන්නේ තෙල් සංස්ථාව පමණක් නිසා රටේ ජනතාව ඒ ගැන කලබලයට පත් නොවිය යුතු බවත් අපි සැප්තැම්බර් 29 වගේ ඈත දිනක රටට කිව්වා.”

Rivira FB Group Rivira Youtube
To Top