“සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය” නමින් සමගි ජන බලවේගය විසින් නොවැම්බර් 16 දින පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහභාගී වීම සඳහා විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙමින් සිටි සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් වැළැක්වීම සඳහා පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල පොලිස් මාර්ග බාධක පවා ස්ථාපිත කොට ඇති බව රිවිර.lk ප්‍රදේශීය මාධ්‍යවේදීන් සඳහන් කළා.
පොලීසිය පවසන්නේ බස් රථ නවතා මගීන්ගෙන් ගමනාන්තය විමසා ඔවුන්ට යාමට අවස්ථාව සළසා ඇති බවයි. නමුත් ගමනාන්තය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති පිරිස් හරවා යැවීමට කටයුතු කළ බව පොලිස් නිලධාරීන් සඳහන් කළා. කෙසේ වෙතත් පොලිස්පති නිල කාර්යාලය විසින් නොවැම්බර් 15 දිනැතිව යොමු කළ RTM-410 හා CRTM-237 දරන චක්‍රලේඛය මගින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා වූ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ මෙලෙස පැමිණෙන පිරිස් අතර රෝගවාහකයින් සිටිය හැකි බැවින් අදාළ පිරිසට තම පොලිස්බල ප්‍රදේශය පසුකර ඒමට ඉඩ නොදෙන ලෙසයි. එම පිරිස් ආපසු හරවා යවන ලෙසත් විශේෂ සිදුවීම් වාර්තා කරන ලෙසත් එවැනි අවස්ථා වීඩියෝගත කර තබාගන්නා ලෙසත් එයින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
මේ අතර, සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් ගාල්ල සිට කොළඹ බලා එමින් සිටිය දී පොලිස් නිලධාරීන් විසින් අධිවේගී මාර්ගයට ඇතුල් කිරීමට ඉඩ නොදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හරවා යැවීමට කටයුතු කරනු ලැබුවා. එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් සමග උණුසුම් සංවාදයක නිරත වූ සමගි ජනබලවේගයේ රෙහාන් ජයවික්‍රම පවසා සිටියේ එම ක්‍රියාවට එරෙහිව අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධීකරණය වෙත යන බවයි.
කෙසේ වෙතත්, සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් විකල්ප මාර්ග හරහා කොළඹ පැමිණෙමින් සිටින බව ඔවුන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ කියා සිටිනවා.

