දේශීය පුවත්

කොට්ටාවෙන් තවත් ගෑස් පිපිරීමක්, රටම අවදානමක?

කොට්ටාව, හෝකන්දර ප්‍රදේශයේ නිවසක නොවැම්බර් 25 අලුයම යම් පිපිරීමක් සිදුව තිබෙනවා. කොට්ටාව පොලිසිය පවසන්නේ මූලික විමර්ශනවලට අනුව එය ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක පළ කරන බවයි.

අලුයම 4ට පමණ සිදුව ඇති පිපිරීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබුණි. අනතුරෙන් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව ද පොලීසිය තහවුරු කළේය.

“පාන්දර 4ට විතර ලොකු සද්දයක් ආවා. එක පාරම ගිහින් බලන්න බැරි නිසා පොඩ්ඩක් ඉඳලා තමයි දොර ඇරියේ. බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දයකුත් එනවා. වහලේ ඔක්කෝම ටික බිම තිබුණේ. සිවිලිම එහෙම ඔක්කෝම කැඩිලා තිබුණා. ගෑස් මොකක් හරි ප්‍රශ්නයක් තමා. හොඳ වෙලාවට ඒ වෙලාවේ කවුරුත් ඇහැරලා හිටියේ නෑ.” සිදුවීම විස්තර කරමින් නිවසේ කාන්තාවක් මාධ්‍ය වෙත පවසා සිටියා.

ආසන්නතම පිපිරීම්

මෙම වසරේ නොවැම්බර් මාසය තුළ පමණක් ප්‍රදේශ කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ.

නොවැම්බර් 04 – වැලිගම – කප්පරතොට – ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබුණි.

නොවැම්බර් 16 – රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි නිෂ්පාදන අලෙවිහලක ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

නොවැම්බර් 20 – කොළඹ තුරග තරග පිටිය අසල පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හලේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් ද පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබුණි.

ලිත්‍රෝ සමාගමේ මතය

ලිත්‍රෝ සමාගමේ නිලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මැක්ඩොනල්ඩ් පරිශ්‍රයේ පිපිරීම තමන් නිරීක්ෂණය කළ අතර එම ආයතනය වෙත තමන් ගෑස් සැපයීමක් කර නොමැති බවයි. මීට පෙර අවස්ථාවල දී සිදුව ඇති පිපිරීම්වලට හේතුවී ඇත්තේ ගෑස් රෙග්‍යුලේටරයේ හෝ උඳුනේ පැවති ගැටලු බව ද එම සමාගම පවසනවා.

ගෑස් පිපිරීම් ගැන කළ අනාවරණය

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ගෑස් සමාගම් ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවයි. එයින් ජනතාව දැඩි අවදානමකට පත්ව ඇති බව ද ඔහු අනාවරණය කර සිටියා.

“ගෑස් සිලින්ඩරයක බියුටේන් සහ ප්‍රොපේන් සංයුතිය 80% සහ 20% ප්‍රතිශතයකින් තිබිය යුතුයි. නමුත් එය 50% සහ 50% ලෙස වෙනස් කර තිබෙනවා. විශේෂයෙන් මීට පෙර ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කරන කාලය මාසයක් නම් එය දින විස්සකට පමණ සීමා වනවා. ආහාර පිසීමේ ක්‍රියාවලියත් මන්දගාමී වනවා. ප්‍රොපේන් 50% දක්වා වැඩි කිරීම තුළ ගෑස් පිපිරීමක් සිදුවීම ඇති විය හැකි බැවින් ජනතාව දැඩි අවදානමකට පත්ව තිබෙනවා”

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට පත්ව ඇති බවට පාර්භෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවදානය යොමු කරමින් සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පා.ම. මුජිබර් රහුමාන් චෝදනා කර සිටියේ ආණ්ඩුව මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top