කොවිඩ්-19

ලොවම බිය කරමින් “ඔමික්‍රෝන්” තවත් කොරෝනා රැල්ලක බිය පතුරයි, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක ගුවන් මගීන්ටත් තහනමක්

කොවිඩ්-19 වෛරසයෙන් ලොවම බරපතල අවදානමකට ලක්ව ඇති තත්වයක් තුළ මේ දකුණු අප්‍රිකාව විසින් හඳුනාගත් නවතම B.1.1.529 නම් විකෘති ප්‍රභේදය “ඔමික්‍රෝන්” ලෙස නම් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම ප්‍රභේදය දැඩි අවදානමක් සහගත ප්‍රභේදයක් බවයි.

මෙතෙක් හඳුනාගත් දරුණුතම කොවිඩ් ප්‍රභේදය ලෙස සැළෙකන මෙම කොවිඩ් ප්‍රභේදය නොවැම්බර් 24 දින දකුණු අප්‍රිකාව විසින් මුල්වරට හඳුනාගෙන තිබෙනවා.

අප්‍රිකාවට බොහෝ දුරින් පිහිටි රටවලින් පවා මෙම වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා යන රටවල් තුළින් ද මෙම ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

දැනට භාවිතා කෙරෙන එන්නත්වලින් මෙම ප්‍රභේදය වැළැක්වීමට හැකියාවක් නොමැති බව දැනට විශ්වාස කෙරෙන අතර දකුණු අප්‍රිකාවේ මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට ද මෙම ප්‍රභේදයෙන් ප්‍රබල පීඩාවක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ වනවිට දකුණු අප්‍රිකාව ඇතුළු මෙම වෛරසය පැතිරෙන රටවල සිට ගුවන් මගින් මගීන් පැමිණීම බොහෝ රටවල් විසින් සීමා කර ඇති අතර ශ්‍රී ලංකාව ද දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 6ක සිට මෙරටට පැමිණීම තහනම් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇති රටවල් අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසතෝ, එස්වාටිනි යන රටවල් ඇති අතර එම රටවල සංචාරය කර පැමිණෙන පුද්ගලයින්ට ද මෙම තහනම බලපැවැත්වෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලා සිටින්නේ අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවෙකු හෝ මෙරට සිටී නම් වහාම නිරෝධායනයට යොමුවන ලෙසයි.

Rivira FB Group Rivira Youtube
To Top