මේ දිනවල ගෑස් අනතුරු සම්බන්ධයෙන් මහජනතාවගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මේ අතර නොවැම්බර් 28 දිනය තුළ පමණක් තවත් ගෑස් පිපිරීම් 03ක් වාර්තා වී තිබෙනවා.
කෑගල්ල අනතුර
කෑගල්ල, රොක්හීල්, කහටපිටිය ප්‍රදේශයේ නිවසක නොවැම්බර් 28 දින පෙරවරුවේ ගෑස් ලිපක් පුපුරා ගොස් ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැත.
“අද උදේ 7.00ට විතර තේ හදන්න වතුර උණු කළා. වතුර එක ගහල මම ගියා මුහුණ හෝදන්න. එක පාරටම ලොකු බෝම්බයක් පිපිරුණා වාගේ. ඇවිත් බැලුවම ලිප කෑලිවලට කැඩිලා. ගෑස් සිලින්ඩරය පුපුරලා තිබුණේ නෑ. මම ආපු ගමන් ඒක ඕෆ් කළා.” නිවැසියෙකු මාධ්‍ය වෙත පවසා තිබිණි.
ආරච්චිකට්ටුව පිපිරීම
පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවසක ද ගෑස් කන්දුවක් නිසා ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් එය සිදු වූ වහාම ක්‍රියාත්මක වී ඇති නිවැසියන් ගෑස් සිලින්ඩරය හා ගෑස් ලිප නිවසින් පිටතට විසි කිරීම හේතුවෙන් නිවසට හානියක් සිදුව නොමැති බවද වාර්තා වේ.
කල්මුණේ පිපිරීම
කල්මුණේ, වට්ටවිදානෙයි ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් නිසා ගෑස් ලිපක් පුපුරා ගොස් ඇති බව නිවුස්ෆස්ට් වාර්තා කර තිබෙනවා. ඉන් නිවසේ මුළුතැන්ගෙයට හානි වී ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ වනවිට මෙම මාසය තුළ පමණක් වාර්තා වී ඇති ගෑස් අනතුරු මෙසේය.
නොවැම්බර් 04 – වැලිගම – කප්පරතොට – ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබුණි.
*නොවැම්බර් 13 – පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද සඳුන්පිටිය හී නිවසක පසුගිය නොවැම්බර් 13 දින සිදුව ඇති පිපිරීමකින් තුවාල ලබා දින 12ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක කාන්තාවක් නොවැම්බර් 25 දින පස්වරුවේ දී මියගොස් ඇති බව වාර්තා වී තිබුණි. නමුත් පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියා සිටියේ අදාළ සිදුවීම ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමක් බවයි.
නොවැම්බර් 16 – රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි නිෂ්පාදන අලෙවිහලක ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
නොවැම්බර් 20 – කොළඹ තුරග තරග පිටිය අසල පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හලේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් ද පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබුණි.
නොවැම්බර් 26 – කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කන්දේගෙදර ප්‍රදේශයේ නොවැම්බර් 26 දින පස්වරුවේ සිදුව ඇති බව කියන ගෑස් පිපිරීමකින් එම නිවසට දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය පොලීසිය පවසනවා.
නොවැම්බර් 28 – අනතුරු 3කි.

