ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීමේ වගකීම භාර මෙහෙයුම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ ජනමාධ්‍ය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සහ ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම අරමුණු කරගත් නව ආයතනයක් පිහිටුවීමට රජය ගත් තීරණයක් අනුවයි.
නොවැම්බර් 26 දින රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මෙම පත් කිරීම් සිදුකොට ඇති බවයි. මීට අදාළව ඔක්තෝම්බර් මස 05 දින “ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’ යනුවෙන් ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම” සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හිමිව ඇති අතර එම තීරණය මෙසේය.
“ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන දේශීය හා අන්තර්ජාතික ශාස්ත්‍රීය ප්‍රමිතීන්ට අනුව ජනමාධ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය හා උසස් ප්‍රමිතින් රැකගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම, පාසල් පද්ධතිය තුළ ජනමාධ්‍ය විෂය හදාරන සැලකිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින නමුත්, ඔවුන් සඳහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ප්‍රමාණවත් අධ්‍යාපන ආයතන සංඛ්‍යාවක් මෙතෙක් ස්ථාපිත වී නොමැත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා කිහිපයක් දැනට පවතින නමුත් එම පාඨමාලා මඟින් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදෙන බව ද නිරීක්ෂණය වී තිබේ. එබැවින්, දැනටමත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය කළමනාකරුවන්ට මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වීමට අපේක්ෂිත පාසල් සිසුන්ට ජනසන්නිවේදන විෂයය අධ්‍යයනය කිරීමට, අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට සහ ඔවුන්ගේ ධාරිතා වර්ධනය කර ගනිමින් වෘත්තීයමය භාවය වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව සැලසීමත්, සදාචාරාත්මක ස්වයං පාලනයක් සහිත මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය මාධ්‍යවේදීන් බිහි කිරීමත් අරමුණු කරගෙන, ජනමාධ්‍ය විෂයය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යයන අවස්ථා සලසා දීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස “ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය” නමින් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
මෙම කමිටුව සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, අතිරේක ලේකම්. එච්. හේවගේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරී යුරේකා වේලාරත්න, විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් වන ආචාර්ය විජයානන්ද රූපසිංහ, ආචාර්ය මධුභාෂිණී ගලගෙදර, ආචාර්ය විජයන්ත උක්වත්ත, යහපාලන රජය සමයේ හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, ශ්‍රී ලංකා කතෘ සංසදයේ නියෝජ්‍ය ලේකම් මොහාන් ලාල් පියදාස, තිනකරන් පුවත්පතේ ප්‍රධාන කතෘ ටී. සෙන්තිල්වේලාවර්, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ඩබ්.පී. සෙව්වන්දි යන අය පත්කර තිබේ.
මේ අතර පසුගිය නොවැම්බර් 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස “මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීම“ට අදාළව කමිටුවක් පත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට මීලඟ රැස්වීමේ දී සම්මත කිරීමට යටත්ව අනුමැතිය ලබා දී ඇත.
“ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ගෝලීය වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය සඳහා පවතින අණපනත්, අන්තර්ජාතික අණපනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා යන ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, ඊට සමගාමීව ඉහළ වෘත්තීය නිපුණතාවක් සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, අවබෝධය සහ සන්නිවේදන උපක්‍රම සමාජගත කිරීම, ඩිජිටල් තාක්ෂණයට අනුගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබේ. ඒ සඳහා වර්තමානයට ගැළපෙන පරිදි මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයේ සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම කාර්යයන් සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහ මාධ්‍ය, අලෙවිකරණ, අධ්‍යාපනික, නීති, පරිපාලන හා ආර්ථික වැනි ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව කමිටුවක් පත් කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ සංයුතිය හා මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීමට අදාළව කමිටුවක් පත් කිරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාව සම්බන්ධයෙන් “වෙබ් මාධ්‍යය සංවර්ධන එකමුතුව” නම් සංවිධානයක් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් ඔවුන් පවසා ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා යහපාලන ප්‍රබලයින් සමග අලුත් ගමනක් යන බවයි.
එම නිවේදනය පහතින්.
“ජනමාධ්‍ය අමාත්‍යංශයේ පාලනය යළිත් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින් අතටද? වරලත් ජනමාධ්‍යවේදී ආයතන මෙහෙයුම් කමිටුවෙන් එළියට පැමිණි ඇමති ඩලස්ගේ අලුත් ගමන
වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනය කළේය. එහි සිටි සාමාජිකයින් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී පැවති යහපාලන ආණ්ඩුවේ ප්‍රබල නිලධාරියෙකු එම කමිටුවේ ද සිටින බව අනාවරණය විය. ඒ එවකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ආචාර්ය රංග කලංසූරිය මහතා යි.
ආචාර්ය රංග කලංසූරිය මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරමින් සිටිය දී දැනට පවතින පුවත්පත් මණ්ඩලය අහෝසි කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඒ වෙනුවට ගෙන ඒමට සැරසුන ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමට එකල මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ආයතන වෙතින් බරපතල විවේචනයක් එල්ල වී තිබුණි. ඒ එම නියාමන කොමිසම මාධ්‍යවේදීන් දඩයම් කිරීමට සැරසෙන, මාධ්‍ය මට්ටු කිරීමට ගෙන එන කොමිසමක් බවට චෝදනා කරමිනි. එසේම ඊට අදාළ පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීම සඳහා “International Media Support – අන්තර්ජාතික මාධ්‍ය සහයෝගීතාවය” නැමැති ඩෙන්මාර්ක රාජ්‍ය නොවන සංවිධානයක් සහය දීම හා Toby Daniel Mendel නැමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු මෙරටට පැමිණීමත් ඇතැම් මාධ්‍ය ආයතන විසින් බරපතල ලෙස විවේචනය කරන ලද අතර රංග කලංසූරිය මහතා ද එම ආයතනයේ සේවය කරන අයෙකු වීම ද ඊට හේතු විය. මේ හරහා ඩෙන්මාර්ක රාජ්‍ය නොවන සංවිධාන මෙරට නීති කෙටුම්පත්වලට බලපෑම් සිදුකරන බවට වූ චෝදනාවක් ද ඒ හරහා මතු වී තිබුණි.
යෝජිතව තිබූ ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසම සම්බන්ධයෙන් එකල (2016 නොවැම්බර් 28 දින පාර්ලිමේන්තුවේ දී) විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දක්වමින් පවසා සිටියේ වෙනත් ස්වාධීන මණ්ඩලයක් පිහිටුවීමට වඩා පවතින පුවත්පත් මණ්ඩලය ස්වාධීන කිරීම කාලෝචිත බවයි. ඒ සඳහා හොඳම ක්‍රියාදාමය ලෙස ඉන්දියාවේ පුවත්පත් මණ්ඩලය ආදර්ශයට ගැනීම බව ද ඔහු පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ දැනට පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනෙකුම පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් එය වෙනස් කර ස්වාධින මණ්ඩලයක් මඟින් නිලධාරින් පත් කිරීම සුදුසු බවයි. මේ අනුව වඩාත් සුදුසු වන්නේ පවතින පුවත්පත් මණ්ඩලය වඩාත් ස්වාධින කිරීම බව ඔහුගේ මතය විය.
මේ අතර පසුගිය නොවැම්බර් 23 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනමාධ්‍ය ඇමතිවරයා තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. එමගින් “මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීම“ට අදාළව කමිටුවක් පත් කිරීම සඳහා අනුමැතිය ලබාගෙන ඇත. මෙම කමිටුවට ද ආචාර්ය රංග කලංසූරිය මහතා අන්තර්ගත වනු ඇති බව මාධ්‍ය සමාජයේ අනුමානයයි. ඒ අනුව, යළිත් වරක් පැරණි නමින්ම හෝ අලුත් නමකින් “ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසම” ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව පෙනී යයි.
වරලත් ජනමාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම යුගයේ අවශ්‍යතාවයක් බව අවිවාදිතය. ඒ පිළිබඳ කිසිදු ගැටළුවක් නැත. එම ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ඇත්තේ පාරිශුද්ධ අරමුණක් විය හැක. නමුත් මෙම කමිටුව මගින් යළිත් වරක් ජනමාධ්‍ය අමාත්‍යංශයේ තීරණ ගැනීමේ බලය යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව සිදුවන්නේ නම් එය නව අර්බුදයක් මතු කරන්නක් බව අපගේ විශ්වාසයයි. විපක්ෂයේ සිටිය දී තෙල් මිල සූත්‍රය නයාට අඳුකොළ මෙන් වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට පැමිණි පසු තෙල් මිල සූත්‍රය රතන සූත්‍රයටත් වඩා වටිනා එකක් මෙන් ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ජනමාධ්‍ය අමාත්‍යවරයාට ද එකල වහ වූ ස්වාධීන මාධ්‍ය කොමිසම මෙකල රහ වීමට යන්නේදැයි වරලත් ජනමාධ්‍යවේදී ආයතන මෙහෙයුම් කමිටුවේ පත් කිරීම් හරහා සැකයක් පැන නගී.
අනෙක් පසින් මෙම කමිටුවේ සංයුතිය අවධානයෙන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ ජන සන්නිවේදනය පිළිබඳ මෙරට සිටින ජ්‍යෙෂ්ඨ මහචාර්යවරුන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මෙන්ම අත්‍යවශ්‍ය නිලධාරීන් පවා ඇතුළත් කිරීමෙන් වැළකී සිට ඇති බවයි. උදාහරණ වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපතිවරුන් ලෙස කටයුතු කර ඇති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වැනි මහත්වරුන් මෙම කමිටුවට ඇතුළත් කළේ නම් එහි අරමුණු ඉටු කර ගැනීමට එය වඩාත් උපකාරී වනු ඇත. එසේම, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාලය කතිකාචාර්යවරුන් මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළත් කර තිබුණ ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රජයේ හිටපු හා වත්මන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වන මොහාන් සමරනායක වැනි මාධ්‍යවේදියෙකු ඊට ඇතුළත් කර නැත. එසේම, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වත්මන් සභාපති සබරගමුව විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මහින්ද පතිරණ හෝ එහි හිටපු සභාපති බන්දුල වෙල්ලාල වැනි අය ද ඊට ඇතුළත් නොවීම අහම්බෙන් සිදුවූවක් ලෙස සැළකිය නොහැක.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද දේශපාලනයට පිවිසීමට පෙර මාධ්‍ය වෘත්තිකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. මාධ්‍ය සම්බන්ධයෙන් කැක්කුමක් ඔහු තුළ තිබිය යුතු බව අපගේ විශ්වාසයයි. එබැවින් මෙම කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉක්මන් අවධානය යොමු විය යුතු බවත්, මාධ්‍ය මර්දනයට ආණ්ඩුව යම් පියවරක් හෝ ගන්නේ නම් එවැනි පියවරයන් වහාම හකුලාගත යුතු බවත් අපගේ මතයයි.”

