තවත් ගෑස් අනතුරු 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. නොවැම්බර් 28 හා 29 දෙදින තුළ සිදුව ඇති මෙම අනතුරු ජාඇල, පාදුක්ක, හංවැල්ල සහ හැටන් යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. මීට අමතරව ගෑස් කාන්දුවීමක් පෙර හඳුනාගැනීමක් ද පොල්ගස්ඕවිට ප්රදේහයෙන් වාර්තා වේ.
පොල්ගස්ඕවිට ගෑස් කාන්දුවීම
කොළඹ දිස්ත්‍රික්කයේ පොල්ගස්ඕවිට සියඹලාගොඩ රණවිරු ප්‍රේමසිරි මාවතේ පිහිටි නිවසක හිමිකරු ඊයේ මිලදීගත් ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවීමේ සිද්ධියක් නිවසේ හිමිකරු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබුණා. නිවසේ හිමිකරු සඳහන් කළේ තමන් නොවැම්බර් 28 දින පස්වරුවේ ගෙන ආ එම ගෑස් සිලින්ඩරයේ පොලිතින් ආවරණය ඉවත් කළ සැණින්ම ශබ්දයක් ද සමග ගෑස් කාන්දු වූ බවයි. තමන් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළා.
ජා ඇළ පිපිරීම
ජා ඇළ, තුඩැල්ල ප්‍රදේශයේ නිවසක නොවැම්බර් 28 දින රාත්‍රීයේදී ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදුවූ බව නිවැසියන් පවසනවා. ඒ පිළිබඳව නිවැසියන් විසින් පොලිසියටද පැමිණිලි කර ඇති අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැත.
හංවැල්ල පිපිරීම
හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක් නොවැම්බර් 28 රාත්‍රියේ ගෑස් ලිපට සවිකර වතුර උණු කිරීමේ දී පිපිරීමක් සිදුවී තිබුණි. නිවසේ හිමිකාරිය සඳහන් කළේ පිපිරීම සිදුවූයේ ගෑස් ලිප එලෙස පිපිරීමට ලක්වූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදුකළ බව නිවැසියන් පැවසුවා.
පාදුක්ක පිපිරීම
පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ ආපනශාලාවක ගෑස් උඳුනකට සවිකර කර තිබූ ගෑස් බටය පුපුරා ගොස් තිබෙනවා. ආපන ශාලාවේ හිමිකරු සඳහන් කළේ ගෑස් ලිප ක්‍රියාත්මක නොකර තිබිය දී අදාළ පිපිරීම සිදුවූ බවයි. අදාළ බටය ස්ථර 3කින් සමන්විත අලුත් බටයක් බවත් සිලින්ඩරය දින කිහිපයක් පමණක් පාවිච්චි කළ එකක් බවත් හිමිකරු වැඩිදුරටත් සඳහන් කළා.
හැටන් පිපිරීම
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ නොවැම්බර් 29 දින පෙරවරුෙව් පිපිරීමක් සිදුව තිබෙනවා. හිමිකරු සඳහන් කළේ මෙහිදී තමන් ආහාර සකසමින් සිටිය දී එක්වරම ගෑස් බටය පුපුරා ගිය බවයි. හැටන් පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
මේ වනවිට මෙම මාසය තුළ පමණක් වාර්තා වී ඇති ගෑස් අනතුරු මෙසේය.
නොවැම්බර් 04 – වැලිගම – කප්පරතොට – ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබුණි.
*නොවැම්බර් 13 – පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද සඳුන්පිටිය හී නිවසක පසුගිය නොවැම්බර් 13 දින සිදුව ඇති පිපිරීමකින් තුවාල ලබා දින 12ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක කාන්තාවක් නොවැම්බර් 25 දින පස්වරුවේ දී මියගොස් ඇති බව වාර්තා වී තිබුණි. නමුත් පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියා සිටියේ අදාළ සිදුවීම ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමක් බවයි.
නොවැම්බර් 16 – රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි නිෂ්පාදන අලෙවිහලක ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
නොවැම්බර් 20 – කොළඹ තුරග තරග පිටිය අසල පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හලේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් ද පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබුණි.
නොවැම්බර් 26 – කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කන්දේගෙදර ප්‍රදේශයේ නොවැම්බර් 26 දින පස්වරුවේ සිදුව ඇති බව කියන ගෑස් පිපිරීමකින් එම නිවසට දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය පොලීසිය පවසනවා.
නොවැම්බර් 28 – කෑගල්ල, රොක්හීල්, කහටපිටිය ප්‍රදේශයේ නිවසක නොවැම්බර් 28 දින පෙරවරුවේ ගෑස් ලිපක් පුපුරා ගොස් ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැත. “අද උදේ 7.00ට විතර තේ හදන්න වතුර උණු කළා. වතුර එක ගහල මම ගියා මුහුණ හෝදන්න. එක පාරටම ලොකු බෝම්බයක් පිපිරුණා වාගේ. ඇවිත් බැලුවම ලිප කෑලිවලට කැඩිලා. ගෑස් සිලින්ඩරය පුපුරලා තිබුණේ නෑ. මම ආපු ගමන් ඒක ඕෆ් කළා.” නිවැසියෙකු මාධ්‍ය වෙත පවසා තිබිණි.
පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවසක ද ගෑස් කන්දුවක් නිසා ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් එය සිදු වූ වහාම ක්‍රියාත්මක වී ඇති නිවැසියන් ගෑස් සිලින්ඩරය හා ගෑස් ලිප නිවසින් පිටතට විසි කිරීම හේතුවෙන් නිවසට හානියක් සිදුව නොමැති බවද වාර්තා වේ.
කල්මුණේ, වට්ටවිදානෙයි ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් නිසා ගෑස් ලිපක් පුපුරා ගොස් ඇති බව නිවුස්ෆස්ට් වාර්තා කර තිබෙනවා. ඉන් නිවසේ මුළුතැන්ගෙයට හානි වී ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

