News

කොටි වළ දැමූ රන් ගොඩ දමන්න මහජන ආරක්ෂක ඇමතිගේ හා ධීවර ඇමතිගේ ලේකම්වරුන් ගියාදැයි පොලිස් පරීක්ෂණ

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වලදමා ඇති රත්‍රං තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත් කළ බව කියන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් ලේකම්වරුන් දෙදෙනෙකු පිළිබඳව විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට අයත් ලේකම්වරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත.

සිය තනතුර හේතුවෙන් ලැබී ඇති තොරතුරු මත අදාළ රත්‍රං තොගය ලබා ගැනීමට සූදානම් වී ඇති බව දැනට සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා. ඒ යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය මගින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළ දමා ඇතැයි කියන රත්‍රං තොගයක් අධිකරණ නියෝගයක් අනුව නොවැම්බර් මස 25 දින ගොඩගැනීමට නියමිත වී තිබී ඇති අතර එම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා මහවිරු සැමරුම්වලට අදාළ තත්ත්වයන් තිබූ බැවින් අදාළ කැණීම් කටයුතු දෙසැම්බර් 01 දින දක්වා කල් දමා අදාළ ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබූ බව පොලීසිය පවසනවා.

ඒ අනුව, පසුගිය 23 දින පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසින් තමන්ව හඳුන්වාදුන් පුද්ගලයෙකු හා ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස තමන්ව හඳුන්වාදුන් පුද්ගලයෙකු පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ “අපි ඔය පැත්තෙ එනවා. ආවට පස්සෙ හමුවෙමු” ලෙසයි..

ඒ අනුව, පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට වෙත ගොස් ඇති එම පුද්ගලයින් දෙදෙනා පවසා ඇත්තේ තමන් සැලසුම් කළ කැණිම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බැවින් නොවැම්බර් 25ට පෙර එම කාර්ය සිදු කිරීමට සහය වන ලෙසයි.

දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමට හැකි වී තිබෙන බවයි. ඒ අනුව, සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර විසින් පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක් යොමුකර තිබෙනවා.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ බව කියැවෙන සිය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය අමාත්‍යවරයාගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවා ඇති බවයි. එසේම, එම වාර්තා හා සිද්ධීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත්, සිදුවීමට අදාළව මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top