News

චම්පික කියූ පරිදිම දෙසැම්බරයේ විදුලි කප්පාදුවක්, දවසට පැයක් විදුලිය කපයි

දෙසැම්බර් 03 දින පැය 6කට ආසන්න විදුලිය බිඳ වැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව දෙසැම්බර් 04 දින නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, දෛනිකව පස්වරු 6 සිට පස්වරු 9 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ඇති බව ඔවුන් පවසනවා.

මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 න් ජාතික පද්ධතියට එක්වන්නේ මෙගාවොට් 300ක් පමණක් බවත් එය යළිත් යථා තත්වයට පත් වීමට දින 3ක් පමණ කාලයක් ගතවනු ඇති බවත් විදුලිබල මණ්ඩලය ඊයේ සඳහන් කළා.

විදුලි කප්පාදුව ගැන පෙර ඉඟි

රටේ විදුලි කප්පාදුවක් සහ බොර තෙල් හිඟයක් අනිවාර්යයෙන්ම ඇති වන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඔක්තෝබර් 19 දින පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ දෙසැම්බර් මාසය වන විට පැය 12 ක විදුලි කප්පාදුවක් සිදු වන බවයි.

අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන අමනෝඥ වැඩපිළිවෙළ හේතුවෙන් නිසා මින් ඉදිරියට සවස 4.15න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්වයට පත් කිරීමට කටයුතු නොකරන බවයි. විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා දෙසැම්බර් 01 දින පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයාගෙන් තම ඉල්ලීම් පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවත් ලබන සඳුදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඇති බවත් පවසමින් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුවූ නිව් ෆෝට්ට්‍රෙස් සමාගම සමග එළැඹුනු ගිවිසුම කුමක්ද?

ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 දින පස්වරු 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ විය. 

විදුලි උත්පාදනය හා ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG සැපයීමට අදාළව රජය අමෙරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රෙස් සමාගම සමග මුලික එකඟතා ගිවිසුමක් අත්සන් කර ඇති බව විදුලි වෘත්තීය සමිති පවසනවා.

එම ගිවිසුම මගින් කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහා භාණ්ඩාගාරයට අයත් 40%ක කොටස් නිව් ෆොට්‍රෙස් නමැති සමාගමට විකිණීමටත් විදුලි බලාගාරයට ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG සැපයීමට අදාළ පාවෙන ගබඩාව හා නළ පද්ධතිය ඉදිකිරීම හා පවත්වාගෙන යාම ද අදාළ සමාගමට පැවරීමට යෝජනා වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ “මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ 2021.09.06 වෙනිදා මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ගාව මේ කැබිනට් පත්‍රිකාව නෑ. දැකලා නෑ. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. අනුමත කරලා කියනවා. මෙහෙම කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය අනුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත. අත්සන් කරාට පස්සේ මොකක්ද අනුමත කරන්න කියන්නේ. අත්සන් කරලා ඉවරයි, මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 වෙනිදා රෑ 12 පසු වී විනාඩි 6 ට සිකුරාදා රාත්‍රීයේ රෑ 12 ට ගිවිසුම් අත්සන් කරනවා, රට ගැන අත්සන් කරලා ආපු සුද්දා පාන්දර 2 ට තියෙන ෆ්ලයිට් එකේ ඇමරිකාවට යනවා. ඕකයි සිද්ද වුණේ, ඔබ හිතනවාද මේ රටේ රෑ 12 .06ට ගිවිසුම් අත්සන් කරන්න. බකමුණො ද මේ ගොල්ලෝ. නිසාචරයින්ද?” යනුවෙනි.

Rivira FB Group Rivira Youtube
To Top