දෙසැම්බර් 18 සෙනසුරාදා දින පාකිස්ථානයේ කරච්චි හි ෂර්ෂා ප්‍රදේශයේ පරචා චෝක් අසල සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති. එරට පොලීසිය පැවසුවේ පිපිරීම සිදුවී ඇත්තේ පුද්ගලික බැංකුවකට යටින් පිහිටි කාණු පද්ධතිය තුළ බවයි.

මේ අතර, එරට රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත්තේ තුවාල ලැබූවන්ගෙන් බහුතරයකට සුන්බුන් වැටීමෙන් සිදුවූ තුවාල ඇති බව හා කිසිදු සිරුරක කිසිදු පුපුරණ ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ගඳක් නොතිබූ බවයි.
මීට පෙර, කරච්චි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයක් කැඳවා පිපිරීම සිදු වූ ස්ථානය පරීක්ෂා කළ බවත්, එම කණ්ඩායම සිය වාර්තාව ලබා දීමෙන් පසු හේතුව නිශ්චිතව හඳුනාගත හැකි බවත්ය.
පසු දින නිකුත් කරන ලද වාර්තාවේ නිගමනය වූයේ ගෑස් කාන්දු වීම සහ ගොඩනැගිල්ලට යටින් ඇති කානු පද්ධතියේ වායු එකතු වීම හේතුවෙන් පිපිරීම සිදු වූ බවයි.
පිපිරීම සිදුවූ ස්ථානයෙන් ත්‍රස්තවාදය පිළිබඳ කිසිදු සාක්ෂියක් මෙතෙක් සොයාගෙන නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

