ජංගම හා ස්ථාවර දුරකතන සේවා මගින් රක්ෂණ ඔප්පු අලෙවිය නැවැත්වීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මහජනතාවගෙන් ලද පැමිණිලි සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇති අතර 2021 සැප්තැම්බර් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි, ජංගම හා ස්ථාවර දුරකතන සේවා සපයන්නන් මාර්ගයෙන් රක්ෂණ ඔප්පු අලෙවි කිරීම නවත්වන ලෙස සියලුම රක්ෂණ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් පහත කරුණු අවධාරණය කර සිටී.
- තවදුරටත් ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණාවරණ මිල දී ගැනීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවට දැනුම් දේ.
- ඔබ දැනටමත් ජංගම හා ස්ථාවර දුරකතන ජාල මගින් රක්ෂණාවරණ මිල දී ගෙන ඇත්නම්, ඊට අදාළ රක්ෂණ සමාගම සමඟ සෘජුව සම්බන්ධ වී, එම රක්ෂණාවරණයට අදාළ රක්ෂණ ඔප්පුව පිළිබඳව නැවත තහවුරු කරගනිමින් එය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ද මහජනතාවට දැනුම් දී ඇත.
- ජංගම හා ස්ථාවර දුරකතන සේවා මගින් රක්ෂණ ඔප්පු අලෙවි කළ රක්ෂණ සමාගම්, එම රක්ෂණාවරණ ලබාගත් පාරිභෝගිකයන් සඳහා සෘජුවම රක්ෂණ තැරැව්කරුවකු හෝ රක්ෂණ නියෝජිතයෙකු මගින් තවදුරටත් සේවාවන් ලබාදීමට බැඳී සිටී.
- මේ සම්බන්ධ ඕනෑම කරුණක් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගැනීමට රක්ෂණාවරණය ලබාගත් සමාගමෙහි ක්ෂණික ඇමතුම් අංකය/ පාරිභෝගික සේවා අංකය ඇමතීම, රක්ෂණ හිමිකරු වන ඔබේ අයිතියකි. දුරකතන අංක – 0112396184 සිට 0112396189 දක්වා.

