පවතින ඩොලර් අර්බුධය හමුවේ ඉන්ධන ආනයනය ඇතුළු සියලු ආනයන බිඳ වැටෙමින් පවතී. මේ වනවිටත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණ ඇති අතර එම නෞකාවලට ගෙවීම් සිදුකිරීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට මහබැංකුව අසමත්ව සිටී. එබැවින් ඉන් එක් නෞකාවක් සඳහා මේ වනවිටත් ප්‍රමාද ගාස්තු ලෙස දෛනිකව ඩොලර් 18000ක් හෙවත් රුපියල් ලක්ෂ 36කට අධික මුදල් ගෙවීමට සිදුවී තිබේ.
මේ තත්වය යටතේ ඉදිරියේ භාවිතය අවම කිරීම සඳහා වන තීරණ ගත යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත. අමාත්‍යවරයා යෝජනා කර ඇති පරිදි පාසල් පැවැත්වීමේ දින ගණන සීමා කිරීම, රාජ්‍ය නිලධාරීන් කොළඹට කැඳවීම සීමා කිරීම වැනි කටයුතු මගින් කොළඹට පැමිණෙන වාහන සීමා කිරීම කළ යුතු බව පෙන්වා දී ඇත.
එසේම කර්මාන්ත සඳහා අවශ්‍ය විදුලි බලය පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම සඳහා දිරිගැන්වීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දී ඇත. එසේම ගෑස් සැපයුම ප්‍රමාණවත් පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිතා කිරීමට පෙළඹීම ද අනාගතයේ දී ඉන්ධන ගැටළුව තීව්ර කිරීමට දායක විය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ අතර මේ වනවිට මෙරට ඉන්ධන සංචිත තවත් දින 12ත් 17ත් අතර ප්‍රමාණයකට පමණක් පවතින බව ඛණිජ තෙල් සංස්ථා සේවක සංගම් පවසන අතර මෙරටට පැමිණ ඇති නෞකා දෙක හැකි ඉක්මණින් නිදහස් කරගත යුතුව පවතින බව ද ප්‍රකාශ කරයි. එසේ නොකිරීමෙන් තෙල් හිඟයක් ඇති වීම මෙන්ම දැවැන්ත ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට සිදුවන බව තෙල් සංස්ථා සේවක සංගම් පෙන්වා දෙයි.
මේ අතර, අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව, දිවා කාලයේ පැයක කාලයකුත්, රාත්‍රී කාලයේ පැය 1 1/2ක කාලයකුත් ලෙස දෛනිකව පැය දෙකහාමාරක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

