දේශීය පුවත්

පාස්කු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරී

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණයෙන් කළ නියෝගය අනුව පුත්තලම මහාධිකරණය නීතිඥවරයා මුදා හැරීමට පෙබරවාරි 09 දින තීරණය කළා.

ඇප ලබා දීමට තම අධිකරණයට බලයක් නොමැති බව පවසා නීතිඥවරයාට ඇප ලබා දීම පුත්තලම මහාධිකරණය පසුගිය දා ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව, ඇප ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සමක් සළකා බලමින් මේනකා විජේසුන්දර හා මේරි ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙබරවාරි 07 දින නියෝග කර තිබුණේ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙසයි. එහිදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ අප්‍රේල් 14 දින අත්අඩංගුවට ගෙන තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව දින 667කට ආසන්න කාලයක් සිටි අතර පුත්තලම මහාධිකරණය විසින් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නීතිඥවරයා නිදහස් කෙරුණු අතර ඇප කොන්දේසි ලෙස සෑම මසකම දෙවැනි සහ සිව් වැනි සතියේ පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ පෙනී සිටිය යුතු බවට ද නියෝග කළේය. එසේම සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය සිය භාරයට ගත් අධිකරණය වැඩිදුරටත් ඔහුට නියෝග කළේ, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි.

Rivira FB Group Rivira Youtube
To Top