දේශපාලන

“මීළඟ පොදු අපේක්ෂයා විමල්”, විමල් හා ගම්මන්පිල ආණ්ඩුවෙන් ගැලවීමෙන් විපක්ෂයේ බලකනු තිගැස්සෙයි

ආණ්ඩුවේ අමාත්‍යධූර දරමින් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් අමාත්‍යධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් වෙන්වී විපක්ෂයේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම තුළින් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් දැඩි තිගැස්සීමකට ලක්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති සිහිනය දකිමින් සිටින විපක්ෂයේ ප්‍රබල කණ්ඩායම් “විමල්-ගම්මන්පිල” සාධකය රට තුළ ප්‍රබල පෙරළියක් සිදුකරනු ඇති බවට නිරීක්ෂණය කර ඇති බැවින් ඔවුන්ට මුල් අවස්ථාවේ සිටම දේශපාලනික වශයෙන් පහර දීමට සිය ආධාරකරුවන් මෙහෙයවමින් සිටින බවත් එහි මුල්ම අදියර ලෙස සමාජ ජාල ක්‍රියාකාරීන් හා සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී මාධ්‍යවේදීන් මගින් “විමල්-ගම්මන්පිල” අතීතය සිහි කිරීමේ ව්‍යාපාරයක් හා ඔවුන් ද රට තුළ ඇතිව තිබෙන අර්බුදයට දායක වී ඇති බවට චෝදනා කෙරෙන මතවාද නිර්මාණය කොට බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙකු අභ්‍යන්තර රැස්වීමක දී ප්‍රකාශ කොට ඇත්තේ විමල් වීරවංශ මීළඟ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි. එබැවින් මේ අවස්ථාවේ දීම ඔවුන් සම්බන්ධයෙන් ගොඩනැගෙමින් පවතින ජනතා විශ්වාසය බිඳ දැමීමට කටයුතු කළ යුතු බව එම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කොට ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ ස්වාධීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සහ තවත් සිවිල් සංවිධාන රැසකගේ එකමුතුවෙන් ප්‍රබල දේශපේ‍්‍රමී දේශපාලන බල කඳවුරක් නිර්මාණය වෙමින් පවතින බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙම නව බලවේගයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ට අමතරව පොහොට්ටුවේ වෙනත් මැති ඇමතිවරුන් හා දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද එක්වීමට සූදානමින් සිටින බව “රිවිර.lk” වෙත වාර්තා වේ.

– රිවිර.lk දේශපාලන වාර්තාකරු

Rivira FB Group Rivira Youtube
To Top