News

35%කවත් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා රාජ්‍ය සේවකයින් වර්ජනයකට සැරසෙයි

දිගින් දිගටම උද්ධමන වේගය ඉහළ යමින් පවතින පසුබිමක දැනට ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව රාජ්‍ය සේවකයින් පවසයි. රාජ්‍ය සේවක එකමුතුව සඳහන් කළේ පවතින තත්වය අනුව අවම වශයෙන් 50%ක හෝ වැටුප් වැඩි වීමක් තමන් අපේක්ෂා කරන බවයි.

මීට අදාළව ඉදිරි දින කිහිපය තුළ දී අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් එහිදී සියලු රජයට සම්බන්ධ වෘත්තීය සමිති සියල්ල එක්ව මීට අදාළ අවසන් තීරණය ගනු ලබන බවත් රාජ්‍ය සේවක එකමුතුව සඳහන් කළා. පසුගිය වසර 2 තුළ පමණක් භාණ්ඩ හා සේවාවල මිල මට්ටම කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, ණය පොලී අනුපාතික පවා මේ වනවිට ඉහළ දමා ඇති බවත් මේ සියලු තත්වයන් යටතේ රාජ්‍ය නිලධාරීන් වෙත ලැබිය යුතු අතිරේක වරප්‍රසාද පවා සීමා වී පවතින බවත් එකී සියලු කරුණු සළකා වැටුප් වැඩි කිරීමක ප්‍රබල අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම වැටුප් ඉහළ දැමීම හුදෙකලාව සිදු කිරීම වෙනුවට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් ද ඉවත් කෙරෙන වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීමක් ද තමන් අපේක්ෂා කරන බවත් එතෙක් දැනට ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව තාවකාලිව රුපියල් 30000ක් දක්වා වැඩි කරන ලෙසත් තමන් යෝජනා කර ඇති බව රාජ්‍ය සේවක එකමුතුව පවසනවා. රට පත්ව ඇති තත්වය සළකා බලා මෙම පියවර ගන්නා බවත් මෙම ඉල්ලීම් ලබා දීමට රජය උනන්දු නොවුනොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට වුවද තමන් පසුබට නොවන බවත් රජ්‍ය සේවක එකමුතුව වැඩිදුරටත් සඳහන් කළා.

To Top