සමගි ජනබලවේගය විසින් මාර්තු 15 දින කොළඹ දී පැවැත්වූ දැවැන්ත විරෝධතා රැලියේ දී නැවතත් වරක් ජනාධිපතිවරණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
“රට විනාශයි – දැන් ඇති – තවත් වනසන්න දෙන්න බෑ” යන තේමාව යටතේ එය සංවිධානය කර තිබූ අතර විපක්ෂ නායකවරයාගේ නායකත්වයෙන් එක් කණ්ඩායමක් කොල්ලුපිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර අනෙක් කණ්ඩායම මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කොට පිටකොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයේ නිරත විය.
අති විශාල පිරිසක් රැස්ව සිටීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව තරකොට තිබූ අතර විරෝධතාකරුවන් එම පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.
කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විරෝධතාකරුවන් අමතා අදහස් පළ කළා.
“අපි ආවේ රට කාබාසිනියා කරපු ආණ්ඩුව ගෙදර යවන්න ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද?.. එදා කිව්වේ ‘අතිගරු ජනාධිපතිතුමා’ කියලා. අද කියන්නේ ‘ඇති ගරු ජනාධිපතිතුමා’ කියලා. දැන් අවුරුදු 2ක් ජනතාව දුක්විඳිනවා. තවත් මේ දුක උහුලන්න පුළුවන්ද ? දැන් එක එක්කෙනා එනවා අපිත් එක්ක දේශපාලන ඩීල් දාන්න. මෙච්චරකල් ඔය දාපු ඩීල් සිදුවුණේ කොහොමද? ඇමතිකම්, සභාපතිකම්, නිලතල දීම මත… මම අවසාන ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනතාව අනාථ කරන්නැතුව පිං සිද්ධවෙයි. එක්කෝ ගෙදර යන්න. එහෙම නැත්තම් ජනතාවට ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරණයක් දෙන්න..”
“අපිට ඕනේ නැවතත් වරක් ජනාධිපතිවරණයක්. වෙන මොනවත් නෙමෙයි. පුළුවන් නම් ජනාධිපතිවරණය පවත්වන්න.”















