Politics

මගේ පුතා සමගි ජනබලවේගයේ ප්‍රධාන කොටස්කාරයෙක්ම – මන්ත්‍රී රාජිත පුත් චතුර වෙනුවෙන් පෙරමුණට

සමගි ජනබලවේගය විසින් පසුගිය මාර්තු 15 කොළඹ දී පැවැත්වූ විරෝධතා රැලියට චතුර සේනාරත්න සහභාගී වීම සම්බන්ධයෙන් පක්ෂය තුළම ඇතැම් පිරිස් දක්වා තිබූ අදහස් සම්බන්ධයෙන් ඔහුගේ පියා වන සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අදහස් දක්වා තිබෙනවා.

ඩේලි මිරර් පුවත්පතට රාජිත සේනාරත්න මහතා පවසා ඇත්තේ තම පුත් චතුර සේනාරත්න සමගි ජනබලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවයි. ඔහු මේ බව කියා සිටින්නේ තම පුතා දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවට පක්ෂය තුළ සිටින අය සිදුකරන ප්‍රකාශවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමිනි.

චතුර සමගි ජනබලවේගයේ විරෝධතාවට පාක්ෂිකයෙකු ලෙස සහභාගී වූ බවත් ඔහු එම පක්ෂයේ බියගම සංවිධායකවරයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවත් සේනාරත්න මහතා එම පුවත්පතට පවසා ඇත..

“චතුර SJB එකේ සාමාජිකයෙක් නොවන බව කියන මන්ත්‍රීවරු දන්නේ නැහැ එතකොට ඇත්තටම එයාලගේ සාමාජිකයින් කවුද කියලා. චතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දැන් SJB බියගම සංවිධායක. අලුත් මන්ත්‍රීවරයෙකුට ඔහු පක්ෂයේ සාමාජිකයෙක් නොවේ කියලා කියන්න බැහැ,” සේනාරත්න පැවසීය. .

චතුර 2020 මහ මැතිවරණයට ද SJB යටතේ තරඟ කළ බව ඔහු පැවසීය.

අඟහරුවාදා පැවති SJB විරෝධතාවයෙන් පසුව, චතුර කළු ඇඳුමකින් සැරසී, සාම ලකුණ සංඥා කරමින් රැලියට සහභාගී වූ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය විය. එවැනි එක් වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් චතුර SJB සාමාජිකයෙකු නොවන බවත් පක්ෂයේ කිසිදු තනතුරක් දරන්නේ නැති බවත් ප්‍රකාශ කරමින් සමගි ජනබලවේගයේ සාමාජික රෙහාන් ජයවික්‍රම, Twitter සටහනක් පළ කර තිබුණි. “ඔහු තම පියා සමඟ විරෝධතාවට එක් විය,” යනුවෙන් රෙහාන් කියා සිටියේය.

මෙම චෝදනාවලට සේනාරත්න කියා සිටියේ “රෙහාන් මොනවා කතා කරනවාද දන්නේ නැහැ” යනුවෙනි.

රාජිතගේ දැඩි ප්‍රතිචාරයෙන් පසුව රෙහාන් අද සවස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ චතුර සේනාරත්න SJB හි සාමාජිකයෙකු බව තමා නොදන්නා බවත් ඔහු දන්නා තොරතුරු මත ඔහු කතා කළ බවත්ය. “සේනාරත්න මන්ත්‍රීතුමා එයාගේ පුතා සාමාජිකයෙක් කියලා කියනවා නම් පාක්ෂිකයන්ට අපහාස නොකර ප්‍රශ්න විසඳගන්න ක්‍රම තියෙනවා..” රෙහාන් සටහන් කර ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top