දේශපාලන

“අපි කියනවා පුතානෝට ඔයාට රජානෝ වෙන්න අපි තියන්නේ නෑ මහත්තයෝ” – ජවිපෙ තරුණයෝ ජනපතිට විරෝධය පාමින් කියයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට හා යුගදනවි බලාගාරය ඇමරිකාවට ලබා දීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීය.

මාර්තු 18 දින පෙරවරුවේ පැවති එම රැලිය “තෙල් පෝලිම් තවත් එපා!, ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු!, රට රැකීමට දේශප්‍රේමී තරුණ තරුණයින් එක්වවු!, තොපි සෙල්ලම් කරන්නේ අපේ අනාගතය එක්කයි, රටේ සම්පත් විකුණන ආණ්ඩුව ගෙදර යනු!” ආදී සටන් පාට රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් එම සංගමය මරදාන ටෙක්නිකල් මංසන්දියේ සිට විරෝධතා පාගමණින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ එහි සිට රැස්ව සිටි පිරිස ඇමතීය.

ජනාධිපතිවරයා වෙත බාර දීමට රැගෙන ආ සංදේශය භාර ගැනීමට වගකිව යුතු නිලධාරියෙකු නොපැමිණි බව කියමින් එම සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විසින් එම ලිපිය සංඛේතාත්මකව ගිනි තැබීමට කටයුතු කරමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන පක්ෂ දෙකම එකම මිටට තබා පරාජය කරන බවට වන දැනුම් දීම සිදුකිරීමට තමන් ඇතුළු ජවිපෙ තරුණ කණ්ඩායම පැමිණි බවයි. එසේම බලයට ඒමට සැරසෙන අනෙකුත් කණ්ඩායම් ද මතක් කරමින් ඔහු කියා සිටියේ “අපි කියනවා පුතානෝට ඔයාට රජානෝ වෙන්න අපි තියන්නේ නෑ මහත්තයෝ” යනුවෙනි.

එම අවස්ථාවේ දී එම පිරිස ජනාධිපති කාර්යාලයේ අමුත්තන් රැස්වන පරිශ්‍රයට ඇතුළුවීමත් සමග හා එම පිරිස රැගෙන ආ ජෙනරේටරය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමත් සමග උණුසුම් තත්වයක් ද නිර්මාණය විය.

Rivira FB Group Rivira Youtube
To Top