බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ මාස 07ක කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමට දීර්ඝ කාලීන කොන්ත්‍රාත්වක් අත්සන් කිරීමටයි.
මාර්තු 14 දින කැබිනට් මණ්ඩලය වෙත බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉදිරිපත් කළ අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව, 2022 ජුනි මස 01 දින සිට 2022 දෙසැම්බර් මස 31 දින දක්වා මාස හතක (07) කාලයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී සමාගම වෙතින් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළැඹීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.
“2022 ජුනි මස 01 දින සිට 2022 දෙසැම්බර් මස 31 දින දක්වා මාස හතක (07) කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමේ ප්‍රසම්පාදනය සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ලංසු කැඳවා ඇත. අදාළ ප්‍රසම්පාදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ගැටෙන මත ඉදිරිපත් වේ. ඇතැම් අය මෙය නුවණක්කාරී තීරණයක් ලෙස පෙන්වා දෙයි. මේ හරහා අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තබාගත හැකිවනු ඇති ඔවුන් පෙන්වා දෙයි. නමුත් මේ වනවිට බ්‍රෙන්ටි බොරතෙල් බැරලයක් අලෙවි වන්නේ ඩොලර් 98ක් වැනි මිලකට වේ. පසුගිය කාලයේ බොරතෙල් මිල දැවැන්ත ලෙස කඩා වැටුනු අවස්ථාවේ දී මෙවැනි ගිවිසුමකට ඇතුළත් වීමට ආණ්ඩුව කිසිඳු පියවරක් නොගෙන මෙලෙස අධික මිලකට බොරතෙල් බැරලයක් අලෙවි වන අවස්ථාවක දීර්ඝ කාලීන ගිවිසුමකට එළැඹීම මතභේදාත්මක තීරණයක් වනු ඇති බව තවත් පිරිසක් පෙන්වා දෙයි.

