රුසියාව හා යුක්‍රේනය අතර පවතින තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට මැදුම් පිළිවෙතක සිටි කටයුතු කරමින් සිටින පසුබිමක යුක්‍රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.
මාර්තු 18 දින රටවල් 14ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සක්‍රීය සහයෝගය ලබා දෙන ලෙසයි.
එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම තමන්ට පිළිගත නොහැකි බවය. රුසියාවට සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට තමන් සමග එක්වන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවය. එසේම යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලොව පුරා සිටින තම මිතුරන් සමග එක්ව කටයුතු කරන බවත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලොව පුරා ජාතීන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් තමන් යුක්‍රේනය සමග සිටින බව ද අදාළ ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ ඒකාබද්ධ නිවේදනයට එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය, ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, කැනඩාවේ මහ කොමසාරිස්, එක්සත් ජනපදයේ තානාපතිවරිය, යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපතිවරයා, ඉතාලි තානාපතිවරිය, නෙදර්ලන්ත තානාපතිවරිය, නවසීලන්ත මහ කොමසාරිස්වරයා, නෝර්වේ තානාපතිවරිය, ජපාන තානාපතිවරයා, රුමේනියාවේ තානාපතිවරයා, ස්විට්සර්ලන්ත තානාපතිවරයා අත්සන් තබා ඇත.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තමන් සහය වන බවත්, සහන මිලකට ඉන්ධන ලබා දීමටත් රුසියාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවට මීට පෙර දැනුම් දී ඇත. එසේ වුවත් මෙම බටහිර රටවල් 14 ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ ඇතුළු චෝදනා එල්ල කරමින් සිටින අතර මෙරට ආර්ථික අර්බුදයට තමන්ට දිය හැකි දායකත්වය පිළිබඳව හෝ අදහස් දැක්වීමක් සිදුකර නොමැති වීමද විශේෂත්වයකි.

