දේශීය පුවත්

අධික ජීවනබර හමුවේ රාජ්‍ය සේවකයින් කබලෙන් ලිපට, දැවැන්ත වර්ජනයක් අත ළඟ

ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීමත් සමග ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ යාම හමුවේ වැටුප් ලබන සියලු සේවකයින් බරපතල දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බව වෘත්තිය සමිති හා රාජ්‍ය සේවා සංගම් පෙන්වා දෙනවා. මේ තත්වය යටතේ තවදුරටත් සේවයට වාර්තා කිරීම පවා අසීරූ වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රිවිර.lk වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ මේ තත්වය මත තවදුරටත් රාජකාරි කිරීමට කාර්යාල වෙත යාම පවා මේ වනවිට දැරිය නොහැකි වියදමක් වී ඇති බවයි. බස් ගාස්තු, ඉන්ධන මිල, ආහාර මිල මේ වනවිට පවතින්නේ ඉතා ඉහළ මිල ගණන්වල බැවින් එම වියදම පවා දරාගත නොහැකි වී ඇති බවයි. අවම වශයෙන් වැටුප් ඉහළ දමන තුරු එම ගැටළු සඳහා ක්ෂණික විසඳුම් ලබා දීමට හෝ රජය කටයුතු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අනුව, වෘත්තීය සමිති විසින් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්න වීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසූ වෘත්තීය සමිති සාමාජිකයින් පැවසුවේ ක්ෂණිකව ලබා දිය යුතු සහන යෝජනා 5ක් සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා වෙමින් පවතින බවයි.

ඒ අනුව, කාර්යාල දින ගණන සීමා කිරීම, අත්‍යවශ්‍ය සේවකයින් පමණක් ප්‍රවාහන පහසුකම් ලබා දී සේවයට කැඳවීම, ජීවන වියදම් දීමනාව රුපියල් 20,000ක් දක්වා හෝ වැඩි කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ඉන් ප්‍රධාන වී තිබෙනවා. එසේම මෙම ගැටළු සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් සියලු රාජ්‍ය සේවකයින් සම්බන්ධ කරගනිමින් දැවැන්ත වර්ජනයකට යාම සම්බන්ධයෙන් ද මේ වනවිට සාකච්ඡා වෙමින් තිබෙන බව ඔවුන් වැඩිදුරටත් අනාවරණය කර සිටියා.

මේ අතර පෞද්ගලික අංශයේ සේවකයින් ද පවසන්නේ තම වැටුප ද මේ වනවිට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. ජීවන වියදම මේ වනවිට පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. තම වැටුප් වැඩි කිරීම් පිළිබඳවද රජය මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පෞද්ගලික ආයතන සියල්ලම සිය භාණ්ඩ හා සේවා මිල ඉහළ දමා තිබුණත් තම වැටුප් හා දීමනා කිසිවක් ඉහළ දැමීමට කටයුතු කර නොමැති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top