අගමැති ධුරයේ වෙනසක් ඉදිරියේදී සිදුවනු ඇතැයි ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතන රැසක් විසින් පසුගිය දිනවල අනාවරණය කර තිබුණා.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ සේවකයින් වෙත කරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳව ද වාර්තා කරමින් එම මාධ්‍ය කියා සිටියේ නව අගමැතිවරයෙකු පත්වනු ඇති බවයි.
ඒ අනුව, ජාතික ආණ්ඩුවක් පිහිටුවා අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලබාදීම කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව තිබුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගල කාරියවසම් මහතා මාර්තු 28 දින සඳහන් කරන්නේ අගමැතිධූරයේ වෙනසක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිඳු තීරණයක් ගෙන නැති බවයි. එසේම දැනට සුදුසුම පුද්ගලයා එම තනතුරේ සිටින බවත් ඔහු සඳහන් කළා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහලේකම්වරයා ඒ බව කියා සිටියා.
නමුත් අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ව්‍යවස්ථානුකූලව බලය හිමි වී ඇත. ඒ අනුව, යම් හෙයකින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් ඒ සඳහා නව අගමැතිවරයෙකු පත් කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට හිමිවේ.

