ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට ප්‍රවේශ වන පැඟිරිවත්ත මාර්ගය අසල දී මාර්තු 31 රාත්‍රී 7.30ට පමණ විරෝධතාවයක් ආරම්භ කර තිබුණි. කෙසේ වෙතත් තත්වය උණුසුම් වීමත් සමග මධ්‍යම රාත්‍රියේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට පොලීසිය හා ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.
විරෝධතාවයට හේතුව
ඉන්ධන හිඟය, විදුලි අර්බුදය, ගෑස් හිඟය මෙන්ම බඩුමිල ඉහළයෑම ඇතුළු දැවෙන ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ඉල්ලමින් විරෝධතාවයට එක්ව සිටි පිරිස් බොහෝ වේලාවක් සාමකාමී ලෙස විරෝධතාවය පවත්වාගෙන යන අයුරු නිරීක්ෂණය කිරීමට හැකිවිය. ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් ඊට සම්බන්ධ වී සිටි අතර තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය හා ආරක්ෂක අංශ ද එම ස්ථානයට රැස්ව තිබුණි.
උණුසුම් තත්වයක් නිර්මාණය වීම
මධ්‍යම රාත්‍රිය ළඟා වීමත් සමග එම ස්ථානය උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ අතර එම ස්ථානයට පැමිණ සිටි පිරිසක් ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගය අවහිර කරමින් යොදා තිබූ පොලිස් බාධක පෙරලාගෙන යාමට උත්සාහ කිරීම හා අවට නිවෙස්වල තාප්ප හරහා එම ස්ථානය පසු කිරීමට ගත් උත්සාහයක් සමග පිරිස විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
තත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය
ස්ථාන කිහිපයක ඇති වී තිබූ තත්වය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබුණා. ඒ අනුව, කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාස වලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබුණා. කෙසේ වෙතත් අප්‍රේල් 01 දින පෙරවරු 12.30ට පමණ එලෙස පැනවූ පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 5.00ට අවසන් කිරීමට පොලීසිය කටයුතු කර තිබුණා.
විරෝධතාකරුවන් 54ක් අත්අඩංගුවට
රථවාහන රැසක් හා දේපළ රැසකට පහර දී ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසූ අතර සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් පිරිසක් හදුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
දේපළ හානි රැසක්
මෙම සිදුවීම අතරතුර පොලිසිය හා ආරක්ෂක අංශ සතු බස් රථයක් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබූ අතර තවත් වාහන කිහිපයකට දැඩි අලාභ හානි සිදුකර තිබුණා. මෙය කවුරුන් විසින් සිදුකරන ලද ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අප්‍රේල් 01 දින මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මෙය ආණ්ඩුවට හිතවාදී කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට සාධාරණ සැකයක් මතුවන බවයි.
විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හා පුද්ගලයින් පහරදුන් බවටත් චෝදනා
මෙහිදී විරෝධතාකරුවන් සීසීකඩ දිවයාමත් සමග ඇතැම් පිරිස් අතුරු මාර්ගවල සිර වී ඇති බවත් එහිදී ඔවුන්ට පහරදීමක් සිදුව ඇති බවටත් එම පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කර සිටියා. එසේම පහරකෑ බව කියනු ලබන පිරිස් අතර මාධ්‍යවේදීන් 3ක් සිටින අතර ඒ අතර සුමේද සංජීව මහතා පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අනාවරණය කර සිටියා. මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය මහතා ද සිදුවීමෙන් තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රරතිකාර ලබමින් සිටින අතර මාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහ මහතා ද පහරකෑම්වලට ලක්ව තුවාල ලබා ඇති බව වාර්තා වේ. මේ අතර තුවාල ලැබූවන් අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සිටින බව ද පොලීසිය පවසනවා.
මේ අතර වෙඩි වැදුනු බව කියනු ලබන පුද්ගලයෙකු රෝහල්ගත කෙරෙන වීඩියෝවක් ද සමාජ ජාලවල බෙදාහැරෙමින් පවතී.
සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට බාධා
මේ අතර සිදුවීම වාර්තා කිරීම සඳහා එම ස්ථානයට ගිය මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට එම කටයුතු ආවරණය කිරීමට බාධා සිදුකළ බවත් ෆේස්බුක් සජීව විකාශයක් ගෙන එමින් ඔහු සඳහන් කර තිබුණා. එහිදී ජනාධිපති මාධ්‍ය අංශයේ සේවකයෙකු බව කියන අයෙකු තමන්ට බාධා කරන බව ඔහු සඳහන් කර තිබුණා.
ජනපති නිවසට විරෝධය පෑම පිටුපස සංවිධානාත්ම අන්තවාදීන් පිරිසක් – ජනාධිපති මාධ්‍ය අංශය
ජනාධිපතිවරයාගේ නිවෙස අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වී ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අප්‍රේල් 01 දින ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියා.
යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර ඇති බවත්, මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අත්අඩංගුවට ගත් අයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා කළ නොහැක – මානව හිමිකම් කොමිසම
මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වු පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම අප්‍රේල් 01 දින සඳහන් කළා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණ සිටි අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිවරිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කළ නොහැකි බවයි.
විරෝධය අතරතුර ජනාධිපතිවරයා මිරිහාන නිවසේ සිටියා – ඇමති ප්‍රසන්න රණතුංග
විරෝධතාවය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට අප්‍රේල් 01 දින සහභාගී වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ අදාළ විරෝධතාවය සිදුවන අවස්ථාවේ ජනාධිපතිවරයා නිවස තුළ සිටි බවයි. එසේම අවම බලය යොදවමින් තත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාව සිටින අර්බුදයක බව තමන් දන්නා බවත් මෙවැනි කටයුතුවලින් සිදුවන්නේ රට අරාජික වීම බවත් එය කිසිසේත් සිදුනොවිය යුත්තක් බවයි. එසේම එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකුද පැමිණ සිටි බැවින් මේවා පිටුපස සිටින්නේ කවුදැයි ජනතාව දැනගත යුතු බව ද ඔහු සඳහන් කළා.
අත්අඩංගුවට පත්ව සිටින පිරිස වෙනුවෙන් නීතිඥ සහය දීමට නීතිඥවරුන් රැසක්ම පෙරමුණට
මිරිහාන විරෝධතාවය අතරතුර අත්අඩංගුවට පත්වූවන් සඳහා නීතිඥ සහය ලබා දීම සඳහා අය කිරීමකින් තොරව ඉදිරිපත් වීමට විශාල නීතිඥවරුන් ප්‍රමාණයක් මිරිහාන පොලීසිය වෙත හා නුගේගොඩ අධිකරණය වෙත අප්‍රේල් 01 දින පැමිණ තිබුණා. මේ අතර ප්‍රාදේශීය මට්ටමෙන් නීතිඥ සහය ලබා දීමට ද ඉදිරියේ දී තමන් කටයුතු කරන බව බොහෝ නීතිඥවරුන් සමාජ ජාලවල සටහන් තබා තිබුණේ සිය දුරකතන අංක ද සමගයි.

