News

රජය විවේචනය කළැයි මහනුවර දිසාපති විසින් අවවාදාත්මක ලිපියක් නිකුත් කිරීම හිටපු අමාත්‍යංශ ලේකම් හෙළා දකී

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විසින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත එම්.ආර්.ජයසිංහ නමැති සංවර්ධන නිලධාරිනියක් වෙත “අවවාද කිරීමේ ලිපියක්” නිකුත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ “නිර්පාක්ෂික ජන අරගලය මර්දනය කිරීම සඳහා ‘මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සංවර්ධන නිලධාරිනිකට’ එරෙහිව නිකුත් කර ඇති තර්ජනාත්මක ලිපිය දැඩි පිළිකුලෙන් යුතුව” හෙළා දකින බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ භෞතික වශයෙන් තමන් එම ලිපිය නුදුටුවද එය සත්‍ය සිදුවීමක් බව උපකල්පනය කරමින් දැනට මෙම කෙටි සටහන තබන ලද බවත් එය සිදුවීම සත්‍ය සිදුවීමක් නම් එය “පොදු ජනතාව ගේ එදිනෙදා ජන ජීවිතය දරුණු ලෙස අභියෝගයට ලක්ව තිබියදී රටේම ආශීර්වාදය ඇතිව දියත්වන මෑත ඉතිහාසයේ ප්‍රථම නිර්පාක්ෂික ජන අරගලය මර්දනය කිරීම සඳහා” මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ගත් උත්සාහයක් ලෙස සැළකිය යුතු බවයි.

2022.04.09 වැනි දිනැතිව නිකුත් කර ඇති බව පෙනී යන අදාළ ලිපිය “අවවාද කිරිම” යන ශීර්ෂය යටතේ නිකුත් කර ඇති ඇති අතර අදාළ නිලධාරිනිය විසින් සිය facebook ගිණුමේ පළකරන ලද්දක් සම්බන්ධයෙන් බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ HAF/INV/ADSE/01/03/11 හා 2021-11-11 දරන ලිපිය අනුව රජ්‍ය සේවකයින් විසින් රජය හෝ රජයේ ප්‍රතිපත්ති විවේචනය නොකළ යුතු බව දක්වා ඇති බවත් සඳහන්.

මහනුවර දිස්ත්‍රික් ලේකම්ධූරයට අමතරව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු බව ද දැක්වෙන නිල මුද්‍රාවක් සහිත ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට සමාජ ජාලා භාවිතා කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු නොකිරීමටත්, රජයත්, රජයේ ප්‍රතිපත්තිත් විවේචනය නොකිරීමටත් වගබලා ගන්නා ලෙස අදාළ නිලධාරිනියට අවවාද කර ඇත.

එසේම, මින් ඉදිරියට ද එසේ කටයුතු කරන්නේ නම්, ආයතන සංග්‍රහයේ XLVII පරිච්ඡේදය අනුව කටයුතු කිරීමට සිදුවන බව ද ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු බව කියන මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top