රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ නිර්පාක්ෂික ජන අරගලය හේතුවෙන් ඉල්ලා අස්වූ කැබිනට් මණ්ඩලය වෙනුවට අමාත්‍යවරුන් 21 දෙනෙකුගේ නව කැබිනට් මණ්ඩලයක් මේ වනවිට පත් කර තිබෙනවා. ඒ අප්‍රේල් 18 දින පෙරවරුවේ දී තවත් කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමත් සමගයි.
මේ අනුව, ජනාධිපති, අගමැති, මුදල් ඇමති අලි සබ්රි, විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස් සමග නව අමාත්‍ය මණ්ඩලය 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිවුරුම් දුන් අමාත්‍යවරු පහත පරිදි වෙයි
- දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
- ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
- රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
- ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක
- දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත
- කණක හේරත් මහතා – මහාමාර්ග
- විදුර වික්‍රමනායක මහතා – කම්කරු
- ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග
- ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
- මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන
- විමලවීර දිසානායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
- කංචන විජේසේකර මහතා – බලශක්ති, විදුලිබල
- තේනුක විදානගමගේ මහතා – තරුණ හා ක්‍රීඩා
- නාලක ගොඩහේවා මහතා – ජනමාධ්‍ය
- චන්න ජයසුමන මහතා – සෞඛ්‍ය
- නසීර් අහමඩ් මහතා – පරිසර
- ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා – වරාය හා නාවික
ඇමතිධූර ප්‍රතික්ෂේප කළැයි මාධ්‍ය වාර්තා කළ ප්‍රසන්න රණතුංග අමාත්‍යධූරයක් ලබා ගෙන ඇති අතර, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, රමේෂ් පතිරණ හා ජී.එල්. පීරිස් මෙන්ම මීට මාසයකට පෙර පළමුවරට කැබිනට්ධූරයක දිවුරුම් දුන් දිලුම් අමුණුගම යන ඇමතිවරු හැරුණුකොට අන් සියලු අමාත්‍යවරු මීට පෙර කැබිනට් ඇමතිධූර දරා නොමැති අය වන අතර මෙම කැබිනට් මණ්ඩලය තුළ කාන්තා නියෝජනයක් නොමැති වීම ද විශේෂ කරුණු ලෙස නිරීක්ෂණය වේ.
එසේම, යහපාලන ආණ්ඩුව සමයේ 2016 වසරේ මැයි මාසයේ දී නැගෙනහිර පළාත් මහඇමතිවරයා ලෙස කටයුතු කළ අහමඩ් නසීර් ත්‍රිකුණාමලයේ පාසලක පැවති උත්සවයක් අතරතුර නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීමේ සිදුවීම දැඩි ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් වූ අතර එම සිදුවීම එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂය ද දැඩිව විවේචනය කර තිබුණි. නම් අද දින පත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයේ පරිසර විෂයභාර කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරී පත්ව සිටින නසීර් අහමඩ් මහතාව වීම ද විශේෂ සිදුවීමකි.

