ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයකින් තොර විරෝධතා හේතුවෙන් රටට සිදුවන්නේ අගතියක් බව පොහොට්ටුවට හිතවත් නීතිඥවරුන් අගමැතිවරයා හමුවේ පවසා තිබෙනවා.
ඒ අරලියගහ මන්දිරයේ අප්‍රේල් 18 දින පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින්. මෙහිදී ඊට සහභාගී වූ නීතිඥවරුන් පවසා ඇත්තේ ජනතාව මුහුණදෙන ගැටලු මුල්කර ගනිමින් කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙම අරගලය මෙහෙයවමින් සිටින බවයි.
මෙම හමුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නීතිඥ සංගමයේ විධායක සභික හර්ෂාන් පෙරේරා නමැති නීතිඥවරයෙක් පවසා ඇත්තේ මීට සම්බන්ධ වන ඇතැම් නීතිඥවරුන්ගේ බැංකු ගිණුම් වෙත විදෙස් රටවලින් මුදල් ලැබෙන බවයි. එසේම මුදල් දී ගෝල්ෆේස් පැමිණ කතා කරන ලෙස තමන්ට ආරාධනා ලැබෙන බව ද එම නීතිඥවරයා පවසා සිටියා. මෙම ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ බොහෝ නීතිඥවරුන්ගේ අවධානයට යොමු වී ඇති අතර ඊට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. ඇතැම් නීතිඥවරුන් කියා සිටින්නේ මෙවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ නම් එය සාක්ෂි සාධක සහිතව ඔප්පු කළ යුතු බවයි.
මිරිහාන සිදුවීමේ දී එම විරෝධතාවයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 54 දෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් 500ක් පමණ නොමිලේ පෙනී සිටීමෙන් අනතුරුව නීතිඥවරුන් සම්බන්ධයෙන් සමාජය තුළ අතිශයින් ගෞරවාදරයට පාත්‍ර වී ඇති අයුරු නිරීක්ෂණය විය. ඉන් පසු ද දිගින් දිගටම සාමකාමී විරෝධතාකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීමට දිවයින පුරා නීතිඥවරුන් ඉදිරිපත් වූ අතර ගාළුමුවදොර අරගලයට ද නීතිඥවරුන් තම දායකත්වය නොපිරිහෙලා ලබා දෙමින් සිටී.
නීතිඥවරුන් මුදල් මත පමණක් කටයුතු කරන පිරිසක් බවට සමාජයේ තිබූ ඇතැම් මතවාදයන් තුරන් කරමින් තිබූ පසුබිමක මෙවැනි චෝදනා එල්ල කිරීමෙන් යළිත් මෙම කීර්තිමත් වෘත්තිය පරිහානියට ලක් කිරීමට කිසියම් කණ්ඩායමක අවශ්‍යතාවය වී ඇත්දැයි සැකයක් මතුවන බව නීතිඥවරුන් පවසයි.

