දේශීය පුවත්

පොලීසිය විසින් නිරායුධ ජීවිතයක් බිලිගත් රඹුක්කන ඛේදවාචකය පිළිබඳ ජාත්‍යන්තරයේ දැඩි අවධානයක්

ජනතාවට දැරිය නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අප්‍රේල් 19 දින රඹුක්කන ප්‍රදේශය හරහා ඇති සියලු මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිරත විය. විරෝධතාකරුවන් පැවසුවේ තමන් දින 3ක් තිස්සේ ඉන්ධන පෝලිමේ සිටිය ද එම පිරවුම්හලට ඉන්ධන නොලැබුණු බවයි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් සමග එකඟවීමකින් පසුව ඉන්ධන බවුසරයක් ගෙන ආ බව ද පොලීසිය පවසනවා. නමුත් එහිදී විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ තමන්ට පැරණි මිලටම ඉන්ධන ලබා දෙන ලෙසයි. තමන් දින 3ක් ඉන්ධන පෝලිමේ සිටි බවත්, නව මිල යටතේ ඉන්ධන ලබා ගැනීමට නොහැකි බවත් පවසා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමුවේ අප්‍රේල් 18 මධ්‍යම රාත්‍රියේ සිටයි.

ඒ අනුව මහනුවර කොළඹ දුම්රිය මාර්ගය ද රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක් විසිරුවා හැරීමට රඹුක්කන පොලිසිය විසින් මුලින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ විසිර නොගිය විරෝධතාකරුවන් පිරිසක් ත්‍රීරෝද රථයකට ගිනි තබා දුම්රිය මාර්ගය අවහිර කරමින් නවතා තිබූ ඉන්ධන බවුසරයට ගිනි තැබීමට සූදානම් වෙද්දි ජිව උණ්ඩ භාවිත කරමින් වෙඩි තැබීමට සිදුවූ බවයි.

නමුත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ඇතැම් දර්ශනවල හඬ අනුව ත්‍රීරෝද රථයට ගිනි තැබීම ගැන වෙනත් පාර්ශවයකට ද චෝදනා කරනු ඇසෙන්නට තිබෙනවා.

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර සිදුවූ ගැටුමින් තුවාල ලැබූ 27 දෙනෙකු තවදුරටත් කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිදුවීමෙන් මියගොස් ඇත්තේ රඹුක්කන පදිංචි කේ.ඩි. චමින්ද ලක්ෂාන් මහතා වන අතර ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි.

ඉන් 13 දෙනෙකු විරෝධතාවට එක්වූ අය වන අතර, ඔවුන්ගෙන් 03 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් වනවා.

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු ඊයේ (19) රාත්‍රියේ පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියා.

මේ නීතිවේදීන් පවසන්නේ පොලීසිය විසින් එල්ල මෙම ප්‍රහාරය අශිෂ්ඨ ප්‍රහාරයක් බවයි. එබැවින් වහාම මේ පිළිබඳව පිළිගත හැකි පරීක්ෂණයක් සිදුකොට අණදුන් පුද්ගලයින්ගේ සිට අණ ක්‍රියාත්මක කළ පුද්ගලයින් දක්වා ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීම සඳහා තුන්දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් පවසනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 19 දින රාත්‍රියේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේ කණ්ඩායමක් ද සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා රඹුක්කන ප්‍රදේශයට ගොස් තිබුණා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය වන ජූලි චංග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රඹුක්කන සිද්ධිය පිළිබඳව තමන් කම්පාවට පත්වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බවත්, ජනතාවට සාමකාමී විරෝධතා සිදුකිරීමේ අයිතිය සුරැකිය යුතු බවත් සඳහන් කර තිබෙනවා.

රඹුක්කන දී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබද කණස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික කාර්යාලය පවසනවා. නිත්‍ය නිලධාරී හැනා සිංගර් පැවසුවේ සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් විසින් ද ඊයේ රඹුක්කන සිදු වූ සිදුවීම පිළිබඳ දැඩි කණගාටුව පළ කර තිබෙනවා. නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ, එක් අයෙකුට ජීවිතය අහිමි වූ වෙඩි ප්‍රහාරය ගැන අසා තමන් බලවත් කම්පනයට පත් වූ අතර, එම සිදුවීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, සාමකාමීව විරෝධතා කිරීමට වගබලා ගන්නා ලෙසත් ඇය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

Rivira FB Group Rivira Youtube
To Top