News

අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා.

අගමැතිවරයා විසින් ජනාධිපති වෙත භාර දුන් ලිපියේ සඳහන් වන්නේ, පවතින තත්ත්වයට වඩාත්ම යෝග්‍ය විසඳුම සර්වපාක්ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවීම බව බොහෝ පාර්ශවයන් විසින් පෙන්වා දී ඇති බව සිහිපත් කරන අගමැතිවරයා, මැයි 6 දා පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී ජනපති විසින් සිදුකෙරුණු ඉල්ලීම්වලට සිය පූර්ණ එකඟතාව පලකරනු වස් වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

“කොවිඩ් වසංගත තත්ත්වය, යුරෝපය ආශ්‍රිතව මතුව ඇති යුදමය තත්ත්වය හා නිදහසින් පසු බිහිවූ විවිධ රජයන් විසින් ගනු ලැබූ සමහර ආර්ථික වශයෙන් දූරදර්ශී නොවන තීරණ මත මේ වනවිට රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය සහ ඒ මත පදනම් වූ දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ රටේ මහජනතාව මහත් වූ අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටියි,” යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.

“පොදුජන යහපත උදෙසාම කැපවූ මා ඒ වෙනුවෙන් ඉදිරියේදී මීටත් වඩා ඕනෑම පරිත්‍යාගයක් සිදුකිරීමට සුදානම් බවත්, යෝජිත කුමන හෝ ක්‍රියාමාර්ග මගින් අප රටත්, ජනතාවත් මුහුණ දෙන දුෂ්කරතා ඉක්මනින් අවසන් වනු දැකීම මාගේ එකම අභිලාශය බවත් ඉතා නිහතමානීව ප්‍රකාශ කරනු රිසියෙමි. එසේම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කළ සියලු පාර්ශව ඉදිරියේ දී රටට මුහුණදීමට සිදුවන සියලු අභියෝග භාර ගැනීමට ද එලෙසින්ම ඉදිරිපත් වනු ඇතැ යි ද දැඩි ලෙස බලාපොරොත්තු වන බැව් වැඩිදුරටත් සඳහන් කරමි,” ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වෙයි.

To Top