News

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළැයි සැකපිට 2ක් අත්අඩංගුවට, අනුරාධපුර හිටපු ඇමති නිවෙස් කැඩුවයි 13ක් රිමාන්ඩ්

ගාලුමුවදොර අරගලයට මිලේච්ඡ ලෙස පහරදීමෙන් අනතුරුව රට පුරා ඇති වූ නොසන්සුන්තාවයට අනුරූපව නිට්ටඹුව නගරයේ මැයි 09 දින ඇතිවූ තත්වය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මිය යාමේ සිද්ධියට අදාළව 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පවසන්නේ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා මිය යාම පහරදීමෙන් සිදුවූ ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වීමත් සමග සිදුකළ විමර්ශනවලට අදාළව හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නිට්ටඹුව පොලිසිය විසින් මෙම සැකකරුවන් අද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අතර දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමත් සමග ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදීමට නියමිත බවයි.

මේ අතර මැයි 09 සිදුවීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දී අලාභ හානි සිදු කිරීමේ චෝදනාව මත මේ වනවිට 268 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එස්.එම්. චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන හා ෂෙහාන් සේමසිංහ යන හිටපු අමාත්‍යවරුන්ගේ නිවෙස්වලට අලාභ හානි සිදුකළ බවට සැකපිට හිමිනමක් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව පොලීසිය පවසනවා.

ඒ අනුව අදාළ පිරිස මැයි 24 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව ද පොලීසිය පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top