ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ජූලි 07 රාත්‍රියේ ඇතිවූ ගැටුමක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කොට තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක තරුණ ඉංජිනේරුවරයෙක්. අදාළ ගැටුම හේතුවෙන් මියගිය තරුණයාගේ සහෝදරයෙකු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඝාතනයට සැකකෙරෙන පුද්ගලයෙකු ද ඒ අතර සිටින බව පොලීසිය පවසනවා.
මෙම ගැටුම ඇතිවී ඇත්තේ ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමකට පිටින පැමිණි පුද්ගලයෙකු සිය හිතවතෙකුගේ වෙළඳසැලක් ඉදිරිපිටින් පෝලීමට ඇතුළත් කිරීමට යාමේ දී යි. එහිදී දින ගණනක් පිටුපසින් පෝලිමේ රැඳී සිටි පිරිස විරෝධය පළ කිරීමත් සමග අදාළ ගැටුම හටගෙන තිබෙනවා. සිය සහෝදරයා සමග පෝලිමේ රැඳී සිටි තරුණයා ද එහිදී විරෝධය පළ කර ඇති අතර තමන් දින කිහිපයක් දුක් විඳිමින් පෝලිමේ රැඳී සිටිය දී මෙලෙස වාහන ඇතුල් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. එහිදී පිහියක් අතැතිව සිටි පුද්ගලයෙකු එම තරුණයාට ඇන ඝාතනය කර ඇති බවට එහි සිටි පිරිස් පොලීසියට පවසා තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූවන් රෝහල්ගත කර තිබුණත් තරුණයා එම ස්ථානයේ දී ම මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
සිද්ධියෙන් මිය ගිය තරුණයා 1997 වසරේ උපන් 25 හැවිරිදි තරුණයෙකු වන අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු ද වේ.


